Gossips

මත්තල ගැන අවසන් තීන්දුව ඉන්දියාවේ ප්‍රතිචාරයෙන් පසු

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපල පවරා ගැනීම සම්බන්ධයෙන් ඉන්දීය සමාගමේ ප්‍රතිචාරය අපේක්ෂාවෙන් සිටින බව ප්‍රවාහන හා ගුවන් සේවා අමාත්‍යාංශ ලේකම් ජී.එස්. විතානගේ පවසනවා. මත්තල ගුවන් තොටුපලට අදාළව ඉන්දියාව සමඟ සිදු කෙරෙන සාකච්ඡාවල ප්‍රගතිය සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකට ප්‍රතිචාර දක්වමින් අමාත්‍යාංශ ලේකම්වරයා මේ බව සඳහන් කළා.
මත්තල ගුවන් තොටුපල පිළිබඳව ඉන්දීය බලධාරීන් ව්‍යාපෘති යෝජනාවක් ඉදිරිපත් කර තිබුණේ මීට මාස කිහිපයකට ඉහතදියි.
පසුව ඒ සම්බන්ධයෙන් ඉන්දු – ශ්‍රී ලංකා බලධාරීන් අතර සාකච්ඡා සිදු කෙරුණු අතර, බදු ගිවිසුමට අදාළ කොන්දේසි පිළිබඳවද අවධානය යොමුවුණා.
ප්‍රවාහන කටයුතු පිළිබඳ ඉන්දීය රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා පසුගිය දා එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මත්තල ගුවන් තොටුපළේ පාලන බලතල සහිත බහුතර කොටස් මිලදී ගැනීමේ යෝජනාවක් සැලකිල්ලට ගෙන නොමැති බවයි.
කෙසේ නමුත් එම ප්‍රකාශය මත්තල පිළිබද ඉන්දු – ශ්‍රී ලංකා සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන නිසා සිදුකරන්නට ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.
එම පරස්පර විරෝධී අදහස් දැක්වීම පිළිබදව වාර්තා ගෙන ආ ඉන්දියාවේ හින්දු පුවත්පත සඳහන් කළේ මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට ලබාදීම පිළිබදව ලක් රජයේ ස්ථාවරය වෙනස් වී නොමැති බවයි.
ඒ බව මෙරට හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සහතික කළේ යැයි හින්දු පුවත්පත වැඩිදුරටත් කියා සිටියා.
මත්තල ගුවන් තොටුපළ ප්‍රතිසංවිධානයේදී ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කිරීමටයි යෝජනා වී ඇත්තේ.
එහිදී සියයට 70ක කොටස් හිමි වන ඉන්දියාවට ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු සඳහා වසර 40ක කාලයකට බදු දීමට සැලසුම් කර ඇති බව සඳහන්.
අදාළ කරුණු සම්බන්ධයෙන් මේ වන විට එකඟත්වයක් පවතින බව ද හින්දු පුවත්පත වැඩිදුරටත් අනාවරණ කළා.
මේ අතර මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දියාවට පැවරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබදව මෙරට ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු සමඟ ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවක් සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය ප්‍රකාශ කළා.
කෙසේ නමුත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළේ මත්තල ගුවන් තොටුපල පිළිබඳව අවසන් තීරණයකට එළැඹීම සඳහා ඉන්දීය රජයේ සමාගමක් සමඟ සාකච්ඡා පවත්වන බවයි.