Gossips

මත්තල ඉන්දියාවට පැවරීමට එරෙහිව, ගුවන් සේවා වෘත්තීය සමිති අරගලයකට සැරසේ

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දියාවට විකිණීමට එරෙහිව ඉදිරියේදී දැවැන්ත වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගැනීමට බලාපොරොත්තු වන බව ශ්‍රී ලංකා නිදහස් සේවක සංගමයේ කටුනායක ගුවන් තොටුපළ ශාඛාව පවසනවා.
එහි සභාපති එම්.ඩබ්ලිව්.බී. මුහන්දිරන් හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී සඳහන් කළේ මත්තල ගුවන් තොටුපළ රැක ගැනීමේ අරමුණින් වෘත්තීය සමිති රැසක් සමඟ එක්ව මෙම ක්‍රියාමාර්ගය ගන්නා බවයි.
කෙසේ නමුත්, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පාලන හිමිකාරීත්වය අත් කර ගැනීමට ඉන්දියාවේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවට ඉන්දීය රජය මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළේ පාලන හිමිකාරීත්වය අත්කර ගැනීමට ඉන්දියාවේ කිසිදු අපේක්ෂාවක් නොමැති බවට ඉන්දීය පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ වීම සම්බන්ධයෙන් කළ විමසීමකට අනුවයි නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ.