Gossips

මත්තල ඉන්දියාවට දීම ස්ථීර බව හින්දු පුවත්පත කියයි

මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපළ ඉන්දියාවට පැවරීම සම්බන්ධයෙන් මතුව ඇති තත්ත්වය පිළිබදව මෙරට ඉන්දීය මහකොමසාරිස් තරංජිත් සිං සන්ධු සමඟ ඉදිරි දින කිහිපය තුළ සාකච්ඡාවක් සිදුකරන බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
රජය මේ සම්බන්ධයෙන් පසුගිය දිනවල සිදුකළ විවිධ ප්‍රකාශ සැලකිල්ලට ගෙන ඒ පිළිබදව ඉන්දීය රජයේ ප්‍රතිචාරය දැන ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් ද සොයිසා හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
මත්තල ගුවන් තොටුපල පිළිබඳව අවසන් තීරණයකට එළැඹීම සඳහා ඉන්දීය රජයේ සමාගමක් සමඟ සාකච්ඡා පවත්වන බව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා පසුගිය දා මාධ්‍ය වෙත ප්‍රකාශ කළා.
ප්‍රවාහන කටයුතු පිළිබඳ ඉන්දීය රාජ්‍ය අමාත්‍ය ජයන්ත් සිංහා පසුගිය දා එරට පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ මත්තල ගුවන් තොටුපළේ පාලන බලතල සහිත බහුතර කොටස් මිලදී ගැනීමේ යෝජනාවක් සැලකිල්ලට ගෙන නොමැති බවයි.
කෙසේ නමුත් එම ප්‍රකාශය මත්තල පිළිබද ඉන්දු – ශ්‍රී ලංකා සාකච්ඡා තවදුරටත් පැවැත්වෙන නිසා සිදුකරන්නට ඇති බව අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා සඳහන් කළා.
එම පරස්පර විරෝධී අදහස් දැක්වීම පිළිබදව ඉන්දියාවේ හින්දු පුවත්පත ඊයේ වාර්තාවක් පළ කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ මත්තල ගුවන් තොටුපළ ඉන්දියාවට ලබාදීම පිළිබදව ලක් රජයේ ස්ථාවරය වෙනස් වී නොමැති බවයි.
ඒ බව මෙරට හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ උසස් නිලධාරියෙකු සහතික කළේ යැයි හින්දු පුවත්පත වැඩිදුරටත් සඳහන් කළා.
මත්තල ගුවන් තොටුපළ ප්‍රතිසංවිධානයේදී ඉන්දු – ශ්‍රී ලංකා ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස එය ක්‍රියාත්මක කිරීමටයි යෝජනා වී ඇත්තේ.
එහිදී සියයට 70ක කොටස් හිමි වන ඉන්දියාවට ගුවන් තොටුපළ මෙහෙයුම් කටයුතු සඳහා වසර 40ක කාලයකට බදු දීමට සැලසුම් කර ඇති බව සඳහන්.
අදාළ කරුණු සම්බන්ධයෙන් මේ වන විට එකඟත්වයක් පවතින බව ද හින්දු පුවත්පත වැඩිදුරටත් අනාවරණ කළා.
කෙසේ නමුත්, ජාතික සම්පත් විදේශ රටවලට අලෙවි නොකරන ලෙසත්, එම ගිවිසුම් සම්බන්ධයෙන් තමන් බලයට පැමිණි පසු නැවත ඇගයීමක් සිදුකරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සිදුකළ ප්‍රකාශයට ද හින්දු පුවත්පතක් ප්‍රසිද්ධියක් ලබාදී තිබෙනවා.
මේ අතර, දකුණු ඉන්දියාවේ තිරුපති දේවස්ථානයේ වන්දනාමය සංචාරයකට එක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ එහිදී මාධ්‍ය වෙත පළ අදහස් කිහිපයක් ද හින්දු පුවත්පත අද වාර්තා කළා.
එහිදී අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ ඉන්දියාවට එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ නිත්‍ය අසුනක් ලබා ගැනීමේ ප්‍රයත්නයට ශ්‍රී ලංකාව ද සහය දක්වන බවයි.
ඉන්දු – ශ්‍රී ලංකා ධීවර ගැටළුව සම්බන්ධයෙන් තෘප්තිමත් විය හැකි ප්‍රගතියක් පවතින බව පැවසූ අග්‍රාමාත්‍යවරයා දැනට චෙන්නායි නුවර කාවේරි රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන තමිල්නාඩුවේ ප්‍රවීන දේශපාලනඥ මුත්තුවේල් කරුණානිධිට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කර තිබෙනවා.