Gossips

මතහේදාත්මක අධ්‍යාපන පත්වීම් ජනපති නියමයෙන් නවතී

හෙට (26) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ අධ්‍යාපන පරිපාලන සහ ගුරු – විදුහල්පති වර්ජනය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට වෘත්තිය සමිති අද තීරණය කළා.
ඒ, ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුවයි.
ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන, ගුරු, අධ්‍යාපනඥ, විදුහල්පති හා ගුරු සේවාවන්හි නිරත නිලධාරීන්ට, දේශපාලන පළිගැනීම් පදනම් කරගනිමින් පත්වීම් හා උසස්වීම් ලබාදීම වහාම ක්‍රියාත්මක වන පරිදි තාවකාලිකව නතර කිරීමට ජනාධීපති මෛත්‍රිපාල සිරිසේන තීරණය කළ බවයි.
අදාළ පත්වීම් ලබාදෙන පුද්ගලයින්ගේ පෞද්ගලික ලිපි ගොනු යළි විමර්ශනය කර නිර්දේශ ලබාදීම සඳහා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකුගෙන් සමන්විත කමිටුවක් පත් කිරීමටද ජනාධිපතිවරයා තීරණය කර තිබීම විශේෂත්වයක්.
එමෙන්ම එම කමිටුවේ නිර්දේ්ශ වැඩිදුර අනුමැතිය ලබාගැනීම සඳහා රාජ්‍ය සේවා කොමිෂන් සභාව වෙත යොමු කෙරෙනු ඇති.
අධ්‍යාපන අමාත්‍යාංශය ගනු ලැබූ මෙම තීරණය සම්බන්ධයෙන් ජනාධිපතිවරයා, අගමැතිවරයා සමඟ දුරකථනයෙන් සාකච්ඡා කර ඇති අතර, අනතුරුවයි අදාළ පත්වීම් සහ උසස්වීම් සම්බන්ධයෙන් මෙම පියවර ගෙන ඇත්තේ.
මේ අතර ලබන තුන්වනදා ශ්‍රී ලංකා – සිංගප්පූරු වෙළඳ ගිවිසුම ඇතුලූ ඉල්ලීම් 10 ක් මුල් කරගනිමින් වර්ජනයේ නිරතවීමට තීරණය කළ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද කොළඹ අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.
ඊට එක්වෙමින් එහි සහකාර ලේකම් වෛද්‍ය නවීන් ද සොයිසා සඳහන් කළේ වර්ජන තීරණයේ වෙනසක් නොමැති බවයි.