Gossips

මතට එරෙහිව පාසලෙන් ජවයක් හෙට මහනුවරින් ඇරඹෙයි

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනේ මධ්‍යම පළාත් වැඩසටහන හෙට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.
පාසල් දරුවන් මත්ද්‍රව්‍ය උවදුරෙන් ගලවා ගැනීම සඳහා ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට සමගාමීව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කෙරෙන "මතට එරෙහිව පාසලෙන් ජවයක්" වැඩසටහන ක්‍රියාත්මක කිරීම ද මෙහිදී සිදු කෙරෙනු ඇති.
පාසල් දරුවන් මත්ද්‍රව්‍යවලට ගොදුරුවීම වර්තමානය වන විට දැඩි සමාජ ව්‍යසනයක් බවට පත්ව තිබෙනවා.
එම තත්වයෙන් පාසල් දරුවන් මුදා ගැනීම සඳහා අධ්‍යාපන අමාත්‍යංශය සහ මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකාය එක්වයි වැඩසටහන ක්‍රියාවට නංවනු ලබන්නේ.
ඊට අදාළ චක්‍රලේඛ ද මේවන විට අධ්‍යාපන අමාත්‍යංශය මගින් සියලු පාසල්වල විදුහල්පතිවරුන් වෙත යොමුකර ඇති බවයි ජනාධිපති මාධ්‍ය අංශය කියාසිටියේ.
මේ අතර දිළිඳුකම පිටුදැකීම සඳහා ක්‍රියාත්මක වන ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරයේ මධ්‍යම පළාත් මෙහෙයුම් කමිටුව ද හෙට මහනුවර ජනාධිපති මන්දිරයේදී රැස් වනවා.
ප්‍රදේශයේ ජනතාව මුහුණදී ඇති ගැටලු පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු කරමින් ඒවා විසඳීම සඳහා ගත යුතු කඩිනම් ක්‍රියාමාර්ගයන්ට එළඹීම ද මෙහිදී සිදු කෙරෙනු ඇති.