Gossips

මතට එරෙහිවූ ගම්වැසියා ඝාතනය කළ රත්නපුරයේ ජාවාරම්කරුවන් අත්අඩංගුවට

රත්නපුර – ෆාම්ගාඩ්න් වත්ත ප්‍රදේශයේදී පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ ප්‍රධාන සැකකරු සහ තවත් පුද්ගලයෙකු පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ත්‍රිරෝද 3 කින් පැමිණි 15 කට ආසන්න පිරිසක් මෙලෙස පැහැර ගෙන ගොස් ඝාතනය කර තිබුණේ අදාළ ප්‍රදේශයේම පදිංචි 36 හැවිරිදි විවාහක පුද්ගලයෙක්.
මොහු ෆාම්ගාඞ්න් වත්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක නීතිවිරෝධී මත්පැන් අලෙවියට එරෙහිව කටයුතු කළ අයෙකු වන අතර, ඝාතනයට සම්බන්ධ සැකකරුවන් දීර්ඝ කාලයක් තිස්සේ නීතිවිරෝධී මත්පැන් අලෙවියේ යෙදුණු පිරිසක් බවට මූලික පොලිස් පරීක්ෂණවලදී හෙළි වී තිබෙනවා.
ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට මාස කිහිපයකට පෙර, අදාළ මත්පැන් ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බල කරමින් රත්නපුර නගරයේ පිහිටි ජල ටැංකිය මත නැගී විරෝධතාවක ද නිරත වුණා.
ඊයේ මොහු තවත් පුද්ගලයෙකු සමග ෆාම්ගාඩ්න් වත්ත මංසන්ධිය අසල රැදී සිටියදී ත්‍රිරෝද රථවලින් පැමිණි සැකකරුවන් ඔහුව පැහැර ගෙන ගොස් තිබූ අතර, සිරුර පසුව හමුවුණේ රත්නපුර – ගොලූවාවිල මාර්ගය අසල දමා ගොස් තිබියදීයි.
අනතුරුව ප්‍රදේශවාසීන් මොහුව රත්නපුර මහරෝහලට ඇතුළත් කළ නමුත්, ඒ වනවිටත් ඔහු මියගොස් තිබුණා.
අදාළ ඝාතනය, අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු සහ ඔහුගේ දරුවන් විසින් සිදුකර ඇති බවට හෙළි වී ඇති අතර, කුපිත වූ ප්‍රදේශවාසීන් ප්‍රධාන සැකකරුට අයත් වෙළදසැලකට සහ නිවසට ගිනි තබා ඇති බවයි හිරු වාර්තාකරු කියා සිටියේ.