Gossips

මඩකලපුවේ පොලිස් නිලධාරී දෙදෙනා ඝාතනය ගැන තවදුරටත් විමර්ශන

මඩකලපුව – වව්නතිව් මාර්ග බාධකයේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධවූවන් අත්අඩංගුවට ගැනීම සඳහා තවදුරටත් විමර්ශන ක්‍රියාත්මක බව පොලීසිය පවසනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර කියා සිටියේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ද සිද්ධිය සම්බන්ධයෙන් විශේෂ පරීක්ෂණයක් ක්‍රියාත්මක බවයි.
මේ අතර, වෙඩි තැබීම සිදුවූ ස්ථානය, ඊයේ පොලිස්පති පූජිත් ජයසුන්දර ඇතුළු ඉහළ පෙළේ පොලිස් නිලධාරීන් කණ්ඩායමකගේ නිරීක්ෂණයට ලක්වුණා.
පොලිස්පතිවරයාට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා, පොලිස් බුද්ධි අංශයේ නිලධාරීන් ද ඊට එක්වූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරී රුවන් ගුණසේකර වැඩිදුරටත් සඳහන් කළේ.
ඊයේ උදෑසන 6 ට පමණ මඩකලපුව – වව්නතිව් මාර්ගයේ වව්නතිව් ප්‍රදේශය ආසන්නයේ පිහිටි පොලිස් මාර්ග බාධකය අසල තිබියදී මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගේ සිරුරු සොයා ගනු ලැබුවා.
ටී – 56 ගිනි අවියකින් වෙඩි තබා මෙම ඝාතන සිදුකර ඇති බවටයි මූලික පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
ඒ අනුව වෙඩි තැබීම සිදුකළ ස්ථානයේ තිබී සොයා ගත් ටී 56 ගිනි අවි උණ්ඩ කිහිපයක් රස පරීක්ෂකවරයා වෙත යොමු කර තිබෙනවා.
වව්නතිව් පොලීසියට අනුයුක්තව රාජකාරි කළ මෙම පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනා කල්මුණේ සහ ගාල්ල ප්‍රදේශවල පදිංචි 32 සහ 28 යන වයස්වල පසුවන්නන්.
මිය ගිය කොස්තාපල්වරුන් දෙදෙනා පොලිස් සැරයන් තනතුර දක්වා උසස් කිරීමට පොලිස්පතිවරයා පියවර ගත්තා.