Gossips

මංගල, ජගත් මහලේකම් හමුවේ

එක්සත් ජාතීන්ගේ සමාජ ආර්ථික මණ්ඩලයේ සංවර්ධන මූල්‍ය සංවාද මණ්ඩපයට සහභාගිවීම සඳහා ඇමරිකා එක්සත් ජනපදයේ නිව්යෝක් නුවර වෙත ගොස් සිටින මුදල් අමාත්‍ය මංගල සමරවීර, ජගත් මහලේකම්වරයා හමුවී තිබෙනවා.
මහලේකම් අන්තෝනියෝ ගුටේරස් සහ මුදල් අමාත්‍යවරයා සමඟ පැවති සාකච්ඡාවේදී 1978 වසරේදී සිදුවූ ඔහුගේ ප්‍රථම ශ්‍රී ලංකා සංචාරය ඇතුළු සංචාරයන් පිළිබදව සිහිපත් කර ඇති බව සඳහන්.
ජගත් මහලේකම්වරයා, මුදල් අමාත්‍යවරයා වෙත ප්‍රකාශ කර ඇත්තේ සංහිදියාව සහ තිරසාර සංවර්ධන ඉලක්ක ළඟා කර ගැනීම ඇතුළු කරුණුවලදී ජගත් සංවිධානය අඛණ්ඩව ශ්‍රී ලාංකික ජනතාව වෙනුවෙන් කැප වී සිටින බවයි.
මේ අතර, වොෂින්ටන් නුවර පසුගිය සතියේ පැවති මාධ්‍ය හමුවකදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂිකා ඈන් මරී වුල්ෆ් ප්‍රකාශ කළේ ශ්‍රී ලංකාව තවදුරටත් විචක්ෂණශීලී ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කළ යුතු බවයි.
මූල්‍ය ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා මෙරට විදේශ සංචිතය ගොඩනැංවීමේ වැදගත්කම ද ඇය පෙන්වා දී තිබෙනවා.
ව්‍යුහාත්මක වෙනස්කම් තුළින්, නිදහස්වාදී ආර්ථික ප්‍රතිපත්ති ඉදිරිපත් කිරීමෙන් වෙළදපොළ විශ්වාසය ගොඩනැගීමට ශ්‍රී ලංකාව කටයුතු කළ යුතු බව ඇය අවධාරණය කළා.