සංවාදයට ලක්ව ඇති භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත් කෙටුම්පත සම්බන්ධයෙන් මහානායක හිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක් එළැඹෙන 13 වැනිදා පැවැත්වීමට නියමිතයි.
බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මේ බව සඳහන් කළේ අදාළ පනත් කෙටුම්පත සම්මත නොකිරීමට රජය තීරණය කර ඇති බවට පළ වී ඇති ඇතැම් වාර්තා සම්බන්ධයෙන් අප කළ විමසීමකට ප්‍රතිචාර දක්වමින්.
මේ අතර, මෙම භික්ෂු කථිකාවත් ලියාපදිංචි කිරීමේ පනත සම්බන්ධයෙන් ඉදිරිපත් වී ඇති මතවාදයන් පිළිබඳව මල්වතු සහ අස්ගිරි කාරක සංඝ සභා ඉදිරිපත් කර ඇති යෝජනා අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල වෙත භාරදී ඇති අතර, එය තවදුරටත් අධ්‍යයනය කරමින් පවතින බවයි වාර්තා වන්නේ.
බුද්ධශාසන විෂය භාර අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා වැඩිදුරටත් සඳහන් කළේ එළැඹෙන 13 වැනිදා පැවැත්වෙන සාකච්ඡාවේදී මහානායක හිමිවරුන් සමඟ පවතින මතවාදයන් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වන බවයි.
මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පසුගිය දිනවල ගිහි පැවිදි විවිධ පාර්ශව අදහස් පළ කළ අතර, ඇතැම් පාර්ශව මහානායක හිමිවරුන් හමුවී ඒ සම්බන්ධයෙන් දැනුම්වත් කිරීමටද පියවර ගත්තා.