Gossips

භික්ෂු කථිකාවතට කෝට්ටේ සංඝ සභාව එකඟ වේ

භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත ගෙන ආ යුතු බව කෝට්ටේ පාර්ශවයේ මහානායක ආචාර්ය, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් පවසනවා.
ශාස්ත්‍රපති පූජ්‍ය දෙදියවල තිලකසිරි හිමියන්ට කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක පදවි සන්නස් පත්‍රය පිළිගැන්වීමේ උත්සවයට ඊයේ එක්වෙමින් උන්වහන්සේ මේ බව කියා සිටියා.
ඊට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද සහභාගි වුණා.
එහිදී අනුශාසනාවක් කළ කෝට්ටේ ශ්‍රී කල්‍යානි සාමග්‍රී සංඝ සභාවේ අනුනායක පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියන් කියා සිටියේ ඇතැම් පාර්ශව එය ප්‍රතික්ෂේප කළත්, භික්ෂු කථිකාව සඟ සමාජයට ගෙන ආ යුතු බව තම සංඝ සභාව ප්‍රකාශ කරන බවයි. එමඟින් සංඝ භේදයක් ඇති නොවන බවයි.
එහිදී අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ කියා සිටියේ ආණ්ඩුවක් ලෙස පැවිදි කටයුතුවලට අත පෙවීමට කටයුතු නොකරන බවයි.
පැවිදි අංශයේ පූර්ණ කැමැත්ත පරිදි අදාළ නීති සම්මත කළ යුතු බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළා.
ඉන් අනතුරුව, කෝට්ටේ පාර්ශවයේ මහානායක ආචාර්ය, අතිපූජ්‍ය ඉත්තෑපානේ ධම්මාලංකාර නාහිමියන් භික්ෂු කථිකාවත් පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කරමින් සඳහන් කළේ කථිකාවත් අවශ්‍ය බවයි.
එමෙන්ම ඒවා නීතිගතවීම පිළිබඳව රජයේ අවධානය කඩිනමින් යොමුවිය යුතු බවද උන්වහන්සේ පෙන්වා දුන්නා.