Gossips

භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමිණී පළමුව වෙඩි තැබීම සියල්ලට හේතු වුනා – ජනාධිපති නීතිඥවරයා අධිකරණයට කියයි

භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක නිලධාරියා පළමුව වෙඩි තැබීම සිදු නොකළේ නම් කිසිදු සිද්ධියක් ඇති නොවන බවත්ල සියල්ලට හේතුවූයේ එම වෙඩි තැබීම බවත් ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා අද ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ප්‍රකාශ කළා.
ඔහු පෙන්වා දුන්නේ භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක නිලධාරි ගාමිණී නමැත්තා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි තැබීමෙන් පසු සෑම සිදුවීමකම ආරම්භය සිදු වූ බවයි.
වෙඩි තැබීම වූ විගසම දුමින්ද සිල්වා මහතා එම ස්ථානයෙන් ඉවත් කර රෝහල් ගත කළ බව නීතිපති දෙපාර්තමේන්තුව පවා පිළිගන්නා බව ජනාධිපති නීතීඥවරයා සඳහන් කළා.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනය අද යළිත් විභාගයට ගැනුණා.
ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුවේ කරුණුවලට පිළිතුරු ලබාදෙමින් එම දෙපාර්තමේන්තුවත් එකඟ වූ කරුණු රැසක් ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා විනිසුරු මඩුල්ලට පෙන්වා දුන්නා.
– හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා කිසිදු අවස්ථාවක වෙඩි නොතැබූ බව,
– එම දිනයේදී කිසිදු අවස්ථාවක දුමින්ද සිල්වා මහතා කිසිදු ගිනි අවියක් පරිහරණය නොකළ බව,
– වෙඩි තැබීමේ සිද්ධිය අහඹු සිදුවීමක් බව,
– දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි වැදීමෙන් පළමුව තුවාල ලැබූ බව සහ
– ඉතා ඉක්මනින් දුමින්ද සිල්වා එම ස්ථානයන් ඉවත් කර රෝහලට ඇතුළත් කළ බව
ඒ අතරවනවා.
ඊට අමතරව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නේ භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමිණී නැමැත්තා වෙඩි තැබීම ආරම්භ කළ නිසා සෑම සිදුවීමක්ම සිදු වූ බවයි.
එම වෙඩි තැබීමෙන් දුමින්ද සිල්වා මහතා පළමුවෙන්ම තුවාල ලබා සිහිමූර්ජා වූ නිසා ඉන් පසුව වූ කිසිදු සිදුවීමක් සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට වගකීමක් නොමැති බව ජනාධිපති නීතීඥවරයා ප්‍රකාශ කළා.
එවන් තත්ත්වයක් මත දුමින්ද සිල්වා මහතාට මිනිමැරුම් චෝදනා නඟා වරදකරු කරන්නේ කෙසේදැයි ජනාධිපති නීතීඥවරයා පංච පුද්ගල විනිසුරු මඩුල්ලෙන් ප්‍රශ්න කළා.
ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේ ආරක්ෂක නිලධාරීන්ගේ පවා සාක්ෂි ඉවත දමා භාරත ලක්ෂ්මන්ට ඉතා සමීප පුද්ගලයෙකුගේ එක් සාක්ෂියක් මත පමණක් පදනම් වෙමින් දුමින්ද සිල්වා මහතා වරදකරු කර ඇති බවයි.
ඔහුගේ සාක්ෂිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ වාර්තා ඇතුළු කිසිදු විද්‍යාත්මක සාක්ෂියකින් තහවුරුකර නොමැති බව ජනාධිපති නීතීඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නා.
ඔහු පැවසුවේ මෙම කරුණු මහාධිකරණයේදී පෙන්වා දුන්නද උගත් විනිසුරුවරුන් ඒවා සැලකිල්ලට ගෙන නොමැති බවයි.
ජනාධිපති නීතීඥවාරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ වෙඩි තැබීමේ සිද්ධිය මත පදනම් වෙමින් දුමින්ද සිල්වා මහතා වරදකරුකළ නොහැකි නිසා ඊට පෙර වූ සිදුවීම්වල ව්‍යාජ සාක්ෂි නිර්මාණය කරමින් විමර්ශකයින් මහාධිකරණ නඩු විභාගය මෙහෙයවූ බවයි.
එම සාක්ෂි සියයට සීයක්ම පිළිගත නොහැකි බව නඩු තීන්දුවේම තිබියදී සාධාරණ නඩු විභාගයක් ලබා නොදෙමින් දුමින්ද සිල්වා මහතා වරදකරු කර ඇති බව ජනාධිපති නීතීඥවරයා පෙන්වා දුන්නා.
ඊට අමතරව සිය මතයට අනුව කටයුතු නොකරන පුද්ගලයින් විත්තිකරුවන් ලෙස නම් කරන බවට විමර්ශකයින් තර්ජනය කර දුමින්ද සිල්වා මහතාට එරෙහිව ව්‍යාජ සාක්ෂි නිර්මාණය කර ඇති බව මෙහිදි ජනාධිපති නීතීඥවරයා සඳහන් කළේ මහාධිකරණ නඩු විභාගයේම උදාහරණයක් පෙන්වා දෙමින්.
ඔහු පැවසුවේ විමර්ශකයින් නිර්මාණය කළ ව්‍යාජ සාක්ෂිවල ලුහුඬුතා විශාල ප්‍රමාණයක් පෙන්වා දුන්නද ඒවා තීන්දුව ලබාදීමේදී නොසලකා හැර ඇති බවයි.
මෙවන් තත්ත්වයක් මත එක් උගත් විනිසුරුවරයෙකු දුමින්ද සිල්වා මහතා නිදහස් කිරීමට කටයුතු කර ඇති බව ජනාධිපති නීතීඥවරයා සිහිපත් කළා.
කෙසේ වෙතත් අනෙක් උගත් විනිසුරුවරයා සිය පෞද්ගලික තීන්දුව ඉදිරිපත් නොකළ නිසා දුමින්ද සිල්වා මහතා වරදකරුකළ මහාධිකරණ තීන්දුව සැබවින්ම නියම තීන්දුවක් නොවන බව ජනාධිපති නීතීඥ අනිල් ද සිල්වා මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙන්වා දුන්නා.