Gossips

භාරතගේ ආරක්ෂක ගාමිණී, දුමින්දගේ හිසට දෙවරක්ම වෙඩි තැබුවේ ඔහු එම ස්ථානයෙන් ඉවත්ව යනවිටයි – ශ්‍රේෂ්ඨාධිකරණයේදී හෙළිවෙයි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි ප්‍රහාර දෙකක්ම භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක නිලධාරී ගාමිණී නැමැත්තා පළමුව එල්ල කළ බව නීතිපති දෙපාර්තමේන්තුව අද යළිත් වරක් පිළිගත්තා.
ඒ, මේ සම්බන්ධයෙන් වන අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට ගත් අවස්ථාවේදී ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කරුණු දැක්වීම හමුවේයි.
එහිදී ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ දුමින්ද සිල්වා මහතා එම ස්ථානයෙන් ඉවත්ව යෑමට සූදානම් වීමේදී මෙම වෙඩි ප්‍රහාර භාරත ලක්ෂ්මන් පාර්ශ්වයෙන් එල්ල වීම සියලු සිදුවීම් ආරම්භයට හේතු වූ බවයි.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති අභියාචනය අද යළිත් විභාගයට ගැනුණා.
ඒ අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ.
එහිදී නීතිපති දෙපාර්තමේන්තුවත් එකඟ වූ කරුණු රැසක් අද දිනයේත් පෙන්වා දුන්නේ ජනාධිපති නීතීඥ අනුජ ප්‍රේමරත්න මහතායි.
– දුමින්ද සිල්වා මහතාට පළමුව වෙඩි වැදුණු බව
– දුමින්ද සිල්වා මහතාගේ හිසට වෙඩි ප්‍රහාර දෙකක් භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමිණී එල්ල බව
– ඉන් දුමින්ද සිල්වා මහතා පළමුව මරණීය තුවාල ලැබූ බව සහ
– ඉතා ඉක්මනින් දුමින්ද සිල්වා එම ස්ථානයන් ඉවත් කර රෝහල් ගතකළ බව ඒ අතර වනවා.
කෙසේ වෙතත්, ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා සදහන් කළේ නීතිපති දෙපාර්තමේන්තුව ඇතුළු සියලු පාර්ශ්ව පළමුව වෙඩි වැදුණේ දුමින්ද සිල්වා මහතාට බව පිළිගෙන තිබියදී තීන්දුවේ පරස්පර අදහසක් සඳහන් බවයි.
ඊට අමතරව භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමිණී නැමැත්තා දුමින්ද සිල්වා මහතාට වෙඩි තැබූ බවට වෙනත් නඩුවක් ගොනුකර ඇති බව තීන්දුවේ සදහන් බව මෙහිදී ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඔහු මේ සම්බන්ධයෙන් සිය විමතිය පළ කරමින් ප්‍රශ්න කළේ එවන් නඩුවක් නීතිපති දෙපාර්තමේන්තුව පවරන්නේ නැති බවට සදහන් කර ඇති අවස්ථාවක තීන්දුවේ එලෙස සදහන් කරන්නේ කෙසේද යන්නයි.
ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැවසුවේ දුමින්ද සිල්වා මහතා එම ස්ථානයෙන් ඉවත්ව හැරී යෑමට සූදානම් වීමේදී භාරත ලක්ෂ්මන් පාර්ශ්වයෙන් වෙඩි ප්‍රහාර එල්ල වූ බවයි.
එලෙස භාරත ලක්ෂ්මන්ගේ ආරක්ෂක ගාමිණී නැමැත්තා වෙඩි තැබීම ආරම්භ කළ නිසා සෑම සිදුවීමක්ම සිදුවූ බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඔහු වැඩිදුරටත් පැවසුවේ භාරත ලක්ෂ්මන් පාර්ශ්වයෙන් වෙඩි තැබුවේ නැතිනම් දෙපාර්ශ්වයම සාමකාමීව ඉවත්ව යනු ඇති බවයි.
ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මෙම කරුණු මත වෙඩි තැබීමක් සිදු කිරීමේ අරමුණින් දුමින්ද සිල්වා මහතා මෙම ස්ථානයට නොපැමිණි බව තහවුරු වන බවයි.
එම නිසා සියලු දෙනාට පෞද්ගලික මට්ටමින් චෝදනා එල්ල කළ යුතු වුවත් භාරත ලක්ෂ්මන්ට වෙඩි තැබුවේ කවුදැයි විමර්ශකයින්ට තහවුරු කිරීමට නොහැකි නිසා සියලු දෙනා නිදොස් කොට නිදහස් කළ යුතු බව ජනාධිපති නීතිඥවරයා ප්‍රකාශ කළා.
මේ අතර, ජනාධිපති නීතිඥ අනුර මැද්දෙගොඩ මහතා ද සදහන් කළේ දුමින්ද සිල්වා මහතාට චෝදනා එල්ල කිරීම සදහා ගිනි අවි සොයාගැනීමක් විමර්ශකයින් ව්‍යාජව නිර්මාණය කර ඇති බවයි.
අදාළ ගිනි අවි සොයාගැනීම සදහා උපයෝගී කරගත් සැකකරු ගුවන්තොටුපළේදී බලහත්කාරයෙන් අත්අඩංගුවට ගෙන විමර්ශකයින් ඔහුගෙන් හිස් කොළවලට සටහන් ලබාගෙන ඇති බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
ඒ අනුව ගිනි අවි පරිහරණය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා මහතාට චෝදනා නැගීම බරපතළ ලෙස ප්‍රශ්නසහගත බව ජනාධිපති නීතිඥවරයා පෙන්වා දුන්නා.
මේ අතර, ජනාධිපති නීතිඥ සාලිය පිරිස් මහතා ද සඳහන් කළේ ඉහත සියලු ජනාධිපති නීතිඥවරුන් සදහන් කළ කරුණු සමග තමන් ද එකඟ වන බවයි.
අද දිනයේ අභියාචනයේ සියලු වාචික දේශන අවසන් වූ අතර, අගවිනිසුරු ප්‍රියසාද් ඩෙප් මහතා සදහන් කළේ අගෝස්තු 10 වැනිදායින් පසු සිය තීන්දුව ලබාදෙන බවයි.
එහිදී
– මහාධිකරණයේ උගත් විනිසුරුවරුන් නිත්‍යනුකූලව තීන්දුව ලබාදී තිබේද යන්න
– සාක්ෂි සහ ඒවාවල ඌණතා සහ පරස්පරතා තීන්දුව ලබාදීමේදී නිසි සැලකිල්ලට භාජනය කළේද යන්න
– සාක්ෂිකරුවන්ගේ විශ්වාසනීයත්වය පිළිබද නිසි අවධානයක් යොමුව තිබේද යන්න
– චූදිතයින් නීති විරෝධී රැස්වීමක සාමාජිකයින් වී සැබැවින්ම පොදු අරමුණකින් කටයුතු කළේද යන්න
– ගිනි අවි සොයා ගැනීම ව්‍යාජව නිර්මාණය කරන ලද්දක්ද යන්න සහ
– වෙඩි තැබීම සිදුවූ ආකාරය
සම්බන්ධයෙන් අවදානය යොමු කරන බව ප්‍රියසාද් ඩෙප් මහතා ප්‍රමුඛ පංච පුද්ගල විනිසුරු මඩුල්ල සදහන් කළා.