Gossips

බොල්ගොඩ කාන්තා හිස,සෙවනගල කඳ කොටසට ගැලපේදැයි පරීක්ෂණ

බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසළ අතුරු මාර්ගයක තිබී සොයාගත් හිස සහ ඇඹිලිපිටිය – සෙවනගල – කිරිඉබ්බන් වැවේ තිබී හමුවූ කඳ කොටස එකම කාන්තාවකගේද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලීසිය සඳහන් කළා.
විදේශීය කාන්තාවකගේ බවට සැක කෙරෙන කඳින් වෙන් කරන ලද හිසක් බණ්ඩාරගම – බොල්ගොඩ පාලම අසළ මාර්ගයක තිබී සොයාගනු ලැබුවේ ඊයේ පෙරවරුවේයි.
පොලීසිය සඳහන් කළේ එම කාන්තාව දින කිහිපයකට පෙර ඝාතනය කර හිස කොටස එම ස්ථානයට ගෙනවිත් දමන්නට ඇති බවයි.
මෙම හිස කොටස චීන හෝ තායි ජාතික කාන්තාවකගේ බවට සැක කෙරෙන බවද පොලීසිය සඳහන් කළා.
එමෙන්ම ඇඹිලිපිටිය – සෙවනගල – කිරිඉබ්බන්වැවේ තිබී හිස සහ පාද නොමැති කඳ කොටසක් පොලීසිය සොයාගත්තේ ඊයේ පස්වරුවේයි.
ඒ, පොලිස් හදිසි ඇමතුම් ඒකකයට ලද තොරතුරකට අනුවයි.
මේ අතර හක්මන – කැබලියපොළ ප්‍රදේශයේ ඊයේ සිදුවූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ හක්මන ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයෙකු බවට අනාවරණ වී තිබෙනවා.
යතුරුපැදියකින් සහ වෑන් රථයකින් පැමිණි පිරිසක් මෙම වෙඩි තැබීම සිදුකර පළා ගොස් තිබුණේ ඊයේ පස්වරුවේයි.
සිද්ධියෙන් මියගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා 53 හැවිරිදි හක්මන – නරවැල්පිට ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.