Gossips

බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිගේ පවුලට සුබසාධන පහසුකම්

බම්බලපිටියේදී ඩිෆෙන්ඩරයක යතුරුපැදිය ගැටීමෙන් බරපතල තුවාල ලබා ඊයේ රාත්‍රියේ මියගිය බොරැල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය උපරිම සුබසාධන පහසුකම් සැළසීමට කටයුතු කරන බව පොලිස් මුලස්ථානය පවසනවා.
ඒ අනුව මෙම නිලධාරියා රාජකාරියේ යෙදී සිටියදී අනතුරට ලක්වූ බැවින් රාජකාරියකදී නිලධාරියෙකු මියගිය විට ඔහුගේ බිරිඳට සහ දරුවන්ට ලැබෙන සියලූ සුබසාධන ගෙවීම් හිමිවන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ.
මෙවැනි අවස්ථාවකදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳව නිකුත් කර ඇති පොලිස්පති චක්‍රලේඛයට අනුව අනෙකුත් වන්දි ගෙවීම්ද සිදුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියා.
මීට සති දෙකකට පෙර, එනම් පෙබරවාරි 24 වනදා අලූයම රාජකාරියේ යෙදී සිටියදී බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා පැදවූ යතුරුපැදිය මෙලෙස ඩිෆෙන්ඩර් රථයක ගැටීමෙන් අනතුරට ලක්වුණා.
එම අනතුරෙන් පසු ඩිෆෙන්ඩර් රථය පලාගොස් තිබූ අතර, එය සොයා ගැනුණේ බත්තරමුල්ල – පැලවත්ත – පැගෝඩා ගාඞ්න් නිවසක නවතා තිබියදියි.
පසුව එම අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලූත්ගමගේ ගේ පුත්‍රයා ඇතුලූ හත්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන් ඇප මත මුදාහැරීමටයි අධිකරණය නියෝග කළේ.
කෙසේ වෙතත් ඩිෆෙන්ඩර් රථය පැදවූ නවිඳු ඔමේෂ් රත්නායක නැමති ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
අනතුරට ලක්වූ පොලිස් ස්ථානාධිපති ආනන්ද සාගර සරත්චන්ද්‍ර ඊයේ දිනය වනතුරු ප්‍රතිකාර ලැබුවේ කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේයි.
ඔහුගේ සුවදුක් විමසීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ද පසුගිය 4 වනදා එහි පැමිණියා.
ඊයේ රාත්‍රි 8.50 ට පමණ අසාධ්‍ය තත්ත්වයේ පසුවූ බොරැල්ල පොලිස් රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මියගිය බවයි ජාතික රෝහල සනාථ කළේ.