Gossips

බොරැල්ල ට්‍රැෆික් OICට මරු කැඳවූ අනතුර ගැන, මුහුණු පොතේ සටහන් යෙදූ 15ක් අධිකරණයට කැඳවයි

බොරැල්ල පොලිස් රථ වාහන අංශයේ ස්ථානාධිපතිවරයා රිය අනතුරකට ලක්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් මුහුණු පොත ඔස්සේ විවිධ සටහන් යෙදූ 15 දෙනෙකු අධිකරණයට කැදවා සාක්ෂි ලබාගැනීමට කටයුතු කරන බව පොලීසිය පවසනවා.
එම පුද්ගලයින් මුහුණු පොත ඔස්සේ සටහන් කර තිබුණේ රිය අනතුර සිදුවන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථය පැදවූ පුද්ගලයා දැනට අත්අඩංගුවේ පසුවන අය නොවන බවටයි.
එහෙත් පොලීසිය සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ මෙම රිය අනතුර සිදුවන අවස්ථාවේදී ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ දැනට රක්ෂිත බන්ධනාගාරගතව පසුවන ඩිෆෙන්ඩර් රථය පැදවූ නවිඳු ඔමේෂ් රත්නායක නැමති ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයා බවටයි.
ඒ සඳහා ස්ථාන 05කින් ලබාගත් සී.සී.ටී.වී. දර්ශන ද උපයෝගී කර ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
ඒ අනුව දැනට රිමාන්ඩ් කර සිටින නවිඳු ඔමේෂ් රත්නායක හෙට යළි අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිතයි.
පසුගිය 24 වන දා බම්බලපිටිය – ගාලු පාරේ – ඩුප්ලි බුලර්ස් මංසන්ධියේදී පොලිස් ස්ථානාධිපතිවරයා ගමන් ගත් යතුරුපැදිය අනතුරට පත් කරමින් ඩිෆෙන්ඩර් රථය පළා ගොස් තිබූ අතර එය පසුව සොයා ගැනුණේ බත්තරමුල්ල – පැලවත්ත – පැගෝඩා ගාඞ්න් නිවසක නවතා තිබියදියි.
එම අනතුර සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයාගේ ඇතුලු හත්දෙනෙකු අත්අඩංගුවට ගත් අතර, ඔවුන්ගෙන් 6 දෙනෙකු පසුව ඇප මත මුදා හැරුණා.
අනතුරෙන් බරපතල තුවාල ලබා සති දෙකකට වැඩි කාලයක් කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර ඊයේ (10) රාත්‍රියේ ජීවිතක්ෂයට පත්වුණා.
ඔහුගේ අවසන් කටයුතු හෙට බොරැල්ල පොදු සුසානභූමියේදී සිදුකෙරෙනවා.
කෙසේ වෙතත්, මිය ගිය පොලිස් ස්ථානාධිපතිවරයාගේ පවුලේ සාමාජිකයන්ට අවශ්‍ය උපරිම සුබසාධන පහසුකම් සැලසීමට කටයුතු කරන බවයි පොලිස් මුලස්ථානය සඳහන් කළේ.
ඒ අනුව මෙම නිලධාරියා රාජකාරියේ යෙදී සිටියදී අනතුරට ලක්වූ බැවින් රාජකාරියකදී නිලධාරියෙකු මියගිය විට ඔහුගේ බිරිඳට සහ දරුවන්ට ලැබෙන සියලු සුබසාධන ගෙවීම් හිමිවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර ප්‍රකාශ කළා.
මෙවැනි අවස්ථාවකදී කටයුතු කළයුතු ආකාරය පිළිබඳව නිකුත් කර ඇති චක්‍රලේඛයට අනුව අනෙකුත් වන්දි ගෙවීම්ද සිදුවන බවයි ඔහු කියා සිටියේ.
rn