Gossips

බොරැල්ල ට්‍රැෆික් ඕ.අයි.සී. යට කිරීමේ සිද්ධියට, මහින්දානන්දගේ පුත්‍රයා ඇතුළු දෙදෙනෙකුට ඇප – රථය පැදවූ ප්‍රභූ ආරක්ෂක නිලධාරියාගේ පුතු ඇතුළු 5ක් රිමාන්ඩ්

බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර අනතුරට ලක් කර පළා යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා ඇතුලූ 7 දෙනෙකු ඇප මත මුදා හැරීමට අධිකරණය අද නියෝග කළා.
කෙසේ වෙතත්, ඩිෆෙන්ඩර් රථය පැදවූ නවිඳු ඔමේෂ් රත්නායක නැමති ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයා ලබන මස 11 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර නියෝග කළේ.
සෙසු සැකකරුවන් වන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ගේ පුත්‍රයා ඇතුළු 7 දෙනා රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කෙරුණා.
කෙසේ වෙතත්, ඉන් ඇප කොන්දේසි සැපිරීමට හැකිවූයේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයාගේ පුත්‍රයාට සහ තවත් එක් අයෙකුට පමණයි.
එබැවින් සෙසු සැකකරුවන් 5 දෙනා හෙට දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.
මේ අතර, අද දිනයේදී නඩු විභාගය කැදවූ අවස්ථාවේදී එය ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට අවස්ථාව ලබාදී තිබුණේ නැහැ.
ඊයේ අලූයම 4.35 ට පමණ බම්බලපිටිය – ඩුප්ලි – බුලර්ස් මංසන්ධියේදී බොරැල්ල රථවාහන අංශයේ ස්ථානාධිපතිවරයා මෙලෙස අනතුරට ලක්වුණේ රාජකාරි කටයුත්තක් සඳහා සිය යතුරුපැදියෙන් යමින් සිටියදියි.
අනතුර සිදුකිරීමෙන් පසු පලාගිය ඩිෆෙන්ඩර් රථය පසුව බත්තරමුල්ල – පැලවත්ත – පැගෝඩා ගාඩ්න් හි නිවසක තිබී ඊයේ දහවල් සොයාගැනුනු අතර, එහි හිමිකරු කොල්ලූපිටිය ප්‍රදේශයේ පදිංචි විසිත ශ්‍රී විෙජ්සේකර නැමති 27 හැවිරිදි තරුණයෙක්.
අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථය පදවා ඇත්තේ එම වයසේම පසුවන නවිඳු ඔමේෂ් රත්නායක නැමති ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ පුත්‍රයෙකු බවට අනාවරණය වුණා.
අනතුර සිදුවන අවස්ථාවේ එම රථයේ හිමිකරු, රියදුරු අසුනට යාබද අසුනේ සිට තිබෙනවා.
එමෙන්ම, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේගේ පුත්‍රයා වන 26 හැවිරිදි රනිස්ක බණ්ඩාර අලුත්ගමගේ සමඟ 27 වන වියේ පසුවන තරුණියක් සහ 28 හැවිරිදි තරුණයෙකු ද සිට ඇති බවයි පොලීසිය කියා සිටියේ.
සීසීටීවී දර්ශනවලට අනුව අනතුර සිදුවන අවස්ථාවේ ඩිෆෙන්ඩර් රථය සමඟ පසුපසින් පැමිණි ප්‍රාඩෝ රථයේ හිමිකරු සහ එහි ගමන් තවත් දෙදෙනෙකුද අද උදෑසන බම්බලපිටිය පොලීසියට භාරවීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනුනා.
එම රථයේ හිමිකරු වන එක්සත් ජාතික පක්ෂයේ කොළඹ නාගරික මන්ත්‍රී දුමින්ද ආටිගල එය පදවා ඇති බවටයි පසුව හෙළිවුණේ.
අනතුර සිදුවන අවස්ථාවේදී අත්අඩංගුවට ගත් සැකකරුවන් 8 දෙනාම බීමතින් සිට ඇති බවට හෙළිව තිබෙනවා.
අනතුරෙන් බරපතල තුවාල ලැබූ බොරැල්ල පොලීසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආනන්ද සාගර සරත්චන්ද්‍ර තවදුරටත් කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා.

Update : Monday, February 25, 2019 06.45pm
ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවූ බොරැල්ල රථවාහන පොලීසියේ ස්ථානාධිපති අනතුරට ලක්කළ සිද්ධියට ඇප හිමිවූ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයා ඇතුළු 7 දෙනෙකු හෙට (26) දක්වා රක්ෂිත බන්ධනාගාරගතකර තිබෙනවා.
අනතුර සිදුකළ රථයේ රියදුරු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
Update : Monday, February 25, 2019 06.30pm
බොරැල්ල රථවාහන පොලීසියේ ස්ථානාධිපති අනතුරට ලක්කර පලා යාමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගනු ලැබු පුද්ගලයින් අට දෙනාගෙන් හත්දෙනෙකුට මිට සුළු මොහොතකට පෙර ඇප ලබා දී තිබෙනවා.
ඇප ලබා ගත අය අතරට කොළඹ නගර සභාවේ එජාප නාගරික මන්ත්‍රී දුමින්ද ආටිගල සහ හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ පුත්‍රයාද සිටින බවයි වාර්තා වන්නේ.
අනතුර සිදුකළ රථයේ රියදුරු ලබන මස 11 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.