Gossips

බොරලැස්ගමුව අනතුරේ වෛද්‍යවරියට ඇප

බොරලැස්ගමුව ප්‍රදේශයේදී රිය අනතුරක් සිදුකර පොලිස් පරීක්ෂකවරයෙකු මිය යාමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි විශේෂඥ වෛද්‍යවරිය රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත අද මුදාහැරුණා.
ඒ, ඇය නුගේගොඩ ප්‍රධාන මහේස්ත්‍රාත් වසන්ත කුමාර හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
අදාළ වෛද්‍යවරිය ගිලන් රථයක් මගින් අද අධිකරණය වෙත රැගෙන විත් තිබුණා. කොළඹ පොලිස් ක්‍ෂේත්‍ර බලකා මුලස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් පරීක්ෂවරයෙකුට මරු කැදවමින් බොරලැස්ගමුවේදී අදාල විශේෂඥ වෛද්‍යවරිය විසින් මෙම අනතුර සිදු කර තිබුණේ පසුගිය මස 30 වනදායි.
මේ අතර සැකකාරියට රිය පැදවීමට ඇති යෝග්‍යතාව සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා ඇය ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය වෙත යොමුකරන ලෙසටද මෙහිදී මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
මෙම වෛද්‍යවරිය බීමතින් රිය පදවා අනතුරක් සිදුකළ ඇති බවට ප්‍රකාශ කෙරුණ ද ඇයව කළුබෝවිල රෝහලට ඉදිරිපත් කර ලබාගත් මූලික වෛද්‍ය පරීක්ෂණයේදී ඇය බීමතින් නොසිටි බවට ප්‍රකාශ වී තිබුණා.
එහෙත් අනතුර සිදුවූ අවස්ථාවේදී කළ ස්ථානීය බැලූම් පරීක්ෂාවේදී ඇය බීමතින් සිටි බවට අනාවරණ වූ බව පොලීසිය සඳහන් කිරීමත් සමඟයි මෙම සිද්ධිය පිළිබඳව සමාජයේ වැඩි අවධානයක් යොමුවුණේ.