Gossips

බොන ජලය බොර කරන ජාවාරම්කරුවෝ

සීතාවක ගඟේ මහා පරිමාණ අනවසර මැණික් ජාවාරම් හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලය රුපියල් කෝටි ගණනක් වියදම් කර ගං පතුලේ එළන ලද නල පද්ධතියට හා ජල පෙරහන්වලට හානි සිදුවීමේ දැඩි අවධානමක් මතුව තිබෙනවා.
ජල සම්පාදන මණ්ඩලය පෙන්වා දෙන්නේ මේ හේතුවෙන් ජනතාවට ජලය සැපයීමට මෙන්ම ජල පවිත්‍රකරණයට ද දැඩි බාධාවක් එල්ල වන බවයි.
අද සී.අයි.ඒ අනාවරණය ඒ පිළිබදවයි.
අනවසර මැණික් ජාවාරම් හේතුවෙන් සීතාවක ජල සම්පාදන මණ්ඩලයට අයත් නළ පද්ධතියට විශාල හානියක් සිදුවන බවට හිරු සී.අයි.ඒ. වෙත තොරතුරු වාර්තා වුණා.
ඒ අනුවයි ඒ පිළිබඳ සොයා බැලීම සඳහා හිරු සී.අයි.ඒ කණ්ඩායම අවිස්සාවේල්ල ප්‍රදේශයට ළඟා වුණේ.
අවිස්සාවේල්ල – සීතාවක පාලම අසලට ගිය හිරු සී.අයි.ඒ කණ්ඩායමට දැකගත හැකිවුයේ ඒ වනවිටත් ගග හරස්කරමින් බාධක යොදා මැණික් ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වන ආකාරයයි.
අපගේ කැමරාව දුටු සැනින් තැන තැන සිටි ජාවාරම්කරුවන් මැණික් ගැරීම නවතා නෑමට පැමිණි බව ඇගවෙන අයුරුන් කටයුතු කළා.
සීතාවක ගගේ මෙම අනවසර මැණික් ගැරීම පිළිබදව 2012 වසරේද ජල සම්පාදන මණ්ඩලය විසින් ප්‍රාදේශීය ලේකම්වරයාට ලිඛිතව දන්වා තිබුනා.
එම ලිපියේ දැක්වෙන්නේ දිවා මෙන්ම රාත්‍රී කාලයේ ද අනවසර මැණික් ගැරීමේ කටයුතු සිදුකිරීම හේතුවෙන් පෙරහන් මාධ්‍ය පහලට තල්ලු වී ජලය පෙරහන් නොවී පැමිණෙන බවයි.
එමගින් රජය සතු නල පද්ධතියට හානි සිදුවනවා මෙන්ම, ජල පවිත්‍රකරණයට හා ජලය සැපයීමටත් විශාල බාධාවක් සිදුවන බව ජල සම්පාදන මණ්ඩයලය යොමු කර ඇති ලිපියේ වැඩිදුරටත් සදහන් වනවා.
අවිස්සාවේල්ල හල්තොටවත්ත ප්‍රදේශයේ සීතාවක ගගේ ඉවුරුද බිද දමමින් තැන තැන සිදුකරනා මහා පරිමාන අනවසර මැණික් ජාවාරම් හේතුවෙන් ජල සම්පාදන මණ්ඩලයට අයත් නල පද්ධති මෙලෙස අක්‍රමත් ලෙස ගං දියෙන් උඩට එස වී ඇති බවයි එහි සේවකයන් පෙන්වා දෙන්නේ.
මෙම අනවසර මැණික් ජාවාරම්කරුවන් මැඩලීමට සාර්ථක විසදුමක් සෙවීමට තවමත් සීතාවක ප්‍රදේශය භාර ආරක්ෂක අංශවලට නොහැකිවීම කණගාටුවට කරුණක්.
ඒ හේතුවෙන් අභියෝගයට ලක් ව ඇත්තේ, මුළුමහත් සීතාවක පුරවරයේම ජනතාවට සැපයෙන පානීය ජල සැපයුමේ පවිත්‍රතාවයයි.
මෙහි තවත් තොරතුරු රැසක් හිරු සී.අයි.ඒ මේ වනවිට හෙළිකරගෙන අවසන්.

rn