පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සඳහා නුදුරු දිනකදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට බලාපොරොත්තු වන බව බොදුබල සේනා සංවිධානය පවසනවා.
එහි නියෝජිත, සිංහල රාවය සංවිධානයේ මහ ලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් කියා සිටියේ උන්වහන්සේ නිදහස් කර ගැනීමට තිබූ අවසන් අභියාචනා අවස්ථාව ද ඊයේ ගිලිහී ගිය බවයි.
බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් සිය වසර 06 ක බරපතල වැඩ සහිත සිරදඬුවම අහෝසි කරන ලෙස ඉල්ලා ඉදිරිපත් කළ අභියාචනය විභාගයට නොගෙන ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ තීරණය කළා.
එහිදී ඥානසාර හිමියන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියන්සි අර්සකුලරත්න පෙන්වා දුන්නේ එක් ක්‍රියාවක් මත පදනම් වෙමින් චෝදනා 04 ක් නඟා දඬුවම් 04 ක් ලබාදීමට කටයුතු කිරීම නීත්‍යානුකූල නොවන බවයි.
චෝදනාවල ගැටළුවක් පවතින්නේ නම් ඊට මුල් අවස්ථාවේදීම විරෝධය පළ නොකළේ මන්දැයි විනිසුරු නලින් පෙරේරා එහිදී ප්‍රශ්න කළා.
ඊට ජනාධිපති නීතිඥවරයාගෙන් නිසි පිළිතුරක් නොලැබුණු අතර, ඔහු තවදුරටත් සඳහන් කළේ ඥානසාර හිමියන්ට දඬුවම් දීමට අභියාචනාධිකරණයට බලයක් නොමැති බවයි.
අධිකරණයේ ගෞරවය ආරක්ෂා කිරීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය බැඳී සිටින බව සඳහන් කළ විනිසුරු ප්‍රසන්න ජයවර්ධන පැවසුවේ අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් දඬුවම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට අසීමිත බලයක් ඇති බවයි.