Gossips

බේරුවල වෙඩි තැබීමට හතරක් අල්ලයි

බේරුවල – පන්නිල – අක්කර අසූව ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් ගත් පුද්ගලයින් දෙදෙනෙකුට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බේරුවල පොලීසියේ උසස් නිලධාරියෙකු සඳහන් කළේ බේරුවල ප්‍රදේශයේදී අද (04) අලුයම අත්අඩංගුවට ගත් සැකකරුවන් ළඟ තිබී ටී 56 ගිනි අවියක්ද සොයාගත් බවයි.
ඊයේ (03) රාත්‍රියේ පන්නිල ප්‍රදේශයේදී යතුරුපැදියකින් ගමන් කරමින් සිටි දෙදෙනෙකු වෙත පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු මග හරස් කර යතුරුපැදිය පැහැරගැනීමට උත්සාහ කර තිබෙනවා.
එහිදී සිදුවූ වෙඩි තැබීමකින් යතුරුපැදියේ සිටි 26 හැවිරිදි වලතර – මුංහේන පාර ප්‍රදේශයේ පදිංචි තරුණයෙකු තුවාල ලැබුවා.
පසුව වෙඩි තැබීම සිදුකළ දෙදෙනා යතුරුපැදිය රැගෙන පලාගිය අතර, සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ අපරාධයක් සිදුකිරීමේ අරමුණින් මෙම යතුරුපැදිය පැහැරගෙන ගොස් ඇති බවටයි.
සිද්ධියෙන් තුවාල ලැබූ පුද්ගලයා කළුතර – නාගොඩ රෝහලට ඇතුළත් කෙරුණු අතර, පසුව වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහල වෙත මාරුකර යැවුණා.
පොලීසිය සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ යතුරුපැදිය පැහැරගැනීමේ අරමුණින් පැමිණි දෙදෙනා එම ස්ථානයට මෝටර් රථයකින් පැමිණ ඇති බවටයි.
පසුව මොවුන් දෙදෙනා එම ස්ථානයේ බස්සවා මෝටර් රථය පිටත්ව ගොස් තිබෙනවා.