Gossips

බේරුවල ගිනි අවි සිද්ධියේ මැණික් ව්‍යාපාරිකයා අද අධිකරණයට

බේරුවල – පත්තෙකඩේ ප්‍රදේශයේ දෙමහල් නිවසක ගබඩා කර තිිබියදී ගිනි අවි සහ ජීව උණ්ඩ තොගයක් සොයා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයා සහ අනෙක් පුද්ගලයා අද (10) මතුගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.
පොලීසිය සඳහන් කළේ ඔවුන් රඳවා තබාගනිමින් තවදුරටත් ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගැනීමට කටයුතු කරන බවයි.
එම ව්‍යාපාරිකයා සතුව තිබී ගිනි අවි 13 ක් සහ ජීව උණ්ඩ 906 ක් සොයාගත් අතර, මූලික පරීක්ෂණවලදී හෙළිවූයේ මෙම අවි ආයුධ සඳහා කිසිදු බලපත්‍රයක් නොමැති බවයි.
මෙතෙක් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී අත්අඩංගුවට ගත් මැණික් ව්‍යාපාරිකයා ගිනි අවි ළඟ තබාගැනීමට හේතුව නිශ්චිතව සඳහන් කර නැහැ.
ඒ අනුව වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මක කර ඇති බවයි පොලීසිය පවසන්නේ.
මොහු සතුව තිබී ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදා ගැනෙන මිනිඋෂි වර්ගයේ ගිනි අවියක් සොයාගැනීම සහ හෙරොයින් මත්කුඩුද සොයාගැනීම පිළිබඳ පරීක්ෂණ කටයුතුවලදී වැඩි අවධානයක් යොමු කරන බව උසස් පොලිස් නිලධාරියෙකු අප කළ විමසීමකදී කියා සිටියා.
මෙම මැණික් ව්‍යාපාරිකයා තවත් පුද්ගලයෙකු සමඟ ඝාතනය කරන ලද ගෝනෙකුගේ මස්ද රැගෙන මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් අතර, පසුව සිදුකරන ලද වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරුවලට අනුවයි මෙම අවි ආයුධ සොයාගැනුනේ.