Gossips

බෙලිඅත්ත – මාතර ප්‍රථම දුම්රිය ගමනේදී උණුසුම් තත්ත්වයක්

මාතර – බෙලිඅත්ත දුම්රිය මාර්ගයේ ප්‍රථම දුම්රිය ධාවනය මාතර දුම්රිය ස්ථානයෙන් අද පෙරවරු 9.04 ට යෙදුණු සුභ මොහොතින් ආරම්භ වුණා.
ඒ අනුව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග වෙත එම මාර්ගයේ ප්‍රථම ප්‍රවේශපත්‍රය ද මාතර දුම්රිය ස්ථානයේදී නිකුත් කෙරුණු බවයි ප්‍රදේශයේ හිරු වාර්තාකරු සඳහන් කළේ.
ඉන් අනතුරුවයි මාතර දුම්රිය ස්ථානයෙන් නව දුම්රිය ගමන් ආරම්භ කරනු ලැබුවේ.
මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සහ අමාත්‍ය මංගල සමරවීර මෙන්ම පසුගිය රජයේ අමාත්‍යවරුන් ලෙස කටයුතු කළ මහින්ද අමරවීර, නිමල් සිරිපාල ද සිල්වා, සහ චමල් රාජපක්ෂද එක්ව සිටියා.
මෙම දුම්රිය ගමනේදී එම මාර්ගයේ අලුතින් ඉදි කෙරුනු පිලදූව, වෙහෙරහේන, කැකණදුර, බඹරැන්ද, සහ වැව්රුකන්නල යන උප ස්ථාන විවෘත කරමින් දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානය වෙත ළඟාවුණේ උදෑසන 10.20 ට පමණයි.
දුම්රිය බෙලිඅත්ත දුම්රිය ස්ථානයට පැමිණි මොහොතේ එහි උණුසුම් තත්වයක් හටගෙන තිබෙනවා. එම ස්ථානයේ සිටි හිරු වාර්තාකරු සඳහන් කළේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ පොදුජන පෙරමුණේ සභාපති සිරිල් මුණසිංහ ඇතුලු මන්ත්‍රීවරුන් පිරිසක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂගේ රුව ඇතුළත් පෝස්ටර් සහ බැනර් ප්‍රදර්ශනය කිරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය ඇති වූ බවයි. ඒ හේතුවෙන් උත්සවයේ කටයුතුවලට බාධා එල්ල වී තිබෙනවා.
දකුණු ලකට අලුත් මඟක් යන තේමාව යටතේ ජනතා අයිතියට පත්කරන ලද මෙම මාර්ගයේ දුම්රිය 7 ක් ගමන් කෙරෙන අතර, ඊට සාගරිකා, ගාලු කුමාරි සහ රජරට රැජිනද ඇතුළත්.
මෙම මාර්ගයේ කොළඹ – කොටුවේ සිට බෙලිඅත්ත දක්වා වන පළමු පන්තියේ ගාස්තුව රුපියල් 600 ක් වන අතර, දෙවන පන්තියේ ගාස්තුව රුපියල් 350 ක්. තුන්වන පන්තියේ ගාස්තුව රුපියල් 195 ක් ලෙසයි ප්‍රකාශයට පත් කර ඇත්තේ.
මෙම මාර්ගයේ මීළඟ දුම්රිය වන ගාලු කුමාරි දුම්රිය අද පස්වරු 2.15 ට මරදාන දුම්රිය ස්ථානයෙන් බෙලිඅත්ත බලා ගමන් ආරම්භ කරන බවයි දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ.