බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශනට වෙඩි තැබුවේද නැතිනම් වෙඩි තබාගත්තේද යන්න පිළිබඳව මෙතෙක් නිශ්චිත තොරතුරක් අනාවරණ කරගත නොහැකි බව පොලීසිය පවසනවා.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ ඔහු මේ වනවිට කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන අතර, මේ පිළිබඳව කිසිදු ප්‍රකාශයක් ලබාගත නොහැකිවී ඇත්තේ තවමත් ඔහු සිහිසුන් තත්ත්වයේ පසුවීම හේතුවෙන්.
මොහු අද උදෑසන 7.30 ට පමණ පල්ලත්තර – මොදරවාන ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිටියදී වෙඩි වැදීමට ලක්ව ඇති බව ඔහුගේ මව විසින් දැක තිබෙනවා.
වෙඩි තැබීම සිදුවන අවස්ථාවේ බෙලිඅත්ත ප්‍රාදේශීය සභා විපක්ෂ නායකවරයාගේ දෙමාපියන් සහ දරුවන් ද නිවසේ සිට ඇති අතර, ඔවුන් ද වෙඩි තැබූ කිසිවෙකුත් දැක නොමැති බව බෙලිඅත්ත පොලීසියේ උසස් නිලධාරියෙකු අප කළ විමසීමකදී සදහන් කළා.
වෙඩි වැදීමෙන් විපක්ෂ නායකවරයාගේ කලවා ප්‍රදේශයට තුවාල සිදුවී තිබෙනවා.
එමෙන්ම වෙඩි වැදීම සිදුවූ මොහොතේ ඔහු රැඳී සිටි කාමරයේ ජනෙල් දොරවල් වසා තිබීමද විශේෂත්වයක්.
එසේම බෙලිඅත්ත ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක කපිල ප්‍රියදර්ශන නිදා සිටි ඇදෙහි මෙට්ටය යට තිබී බෝර 12 ගිනි අවියක් සහ ඒ සඳහා භාවිත කරන පතොරම් 4 ක් ද සොයාගෙන තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සඳහන් කළේ මෙය පවුල් ආරවුලක් මත සිදුවූවාදැයි සැකයක් පවතින බවයි.