Gossips

බෙලිඅත්තේ දෛනික ආදායම ලක්ෂ පහ ඉක්මවයි – ප්‍රවේශපත්‍රත් අවසන්

අලූතින් ඉදිකළ දුම්රිය මාර්ගය හේතුවෙන් බෙලිඅත්ත දුම්රිය ස්ථානයේ පමණක් දෛනික ආදායම රුපියල් ලක්ෂ 5 ඉක්මවා තිබෙනවා.
බෙලිඅත්තේ සිට මාතර දක්වා ලබාදෙන දුම්රිය ප්‍රවේශ පත්‍රද අවසන් වීම නිසා නව ප්‍රවේශපත්‍ර තොගයක් අද බෙලිඅත්ත සහ මාතර දුම්රිය ස්ථාන වෙත යොමු කිරීමටද නියමිතයි.
එමෙන්ම, ගම්බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා විශේෂ දුම්රිය සේවා කිහිපයක් ලබන 22 වනදා දක්වා ක්‍රියාත්මකයි.
ඒ යටතේ බදුල්ල – කොළඹ, යාපනය – කොළඹ සහ බෙලිඅත්ත – කොළඹ විශේෂ දුම්රිය සේවා ආරම්භ කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන අධිකාරි ඒ.ඩී.ජී. සෙනෙවිරත්න කියා සිටියේ.
මේ අතර, අලූත් අවුරුද්ද වෙනුවෙන් ගම් බිම් බලා ගිය ජනතාවට නැවත පැමිණීම සඳහා විශේෂ බස් සේවාවක් ද ආරම්භ කර තිබෙනවා.
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ධාවන අංශයේ නියෝජ්‍ය කළමනාකාර ටියුඩර් චන්ද්‍රසිරි කියා සිටියේ පසුගිය 15 වනදා සිට ලබන සඳුදා දක්වා මෙම විශේෂ බස් රථ සේවාව ආරම්භ කර ඇති බවයි.
අලූත් අවුරුද්ද වෙනුවෙන් පසුගිය 8 වනදා සිට 13 වනදා දක්වා ආරම්භ කළ විශේෂ බස් රථ සේවාවෙන් ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට මිලියන 400 ඉක්වූ ආදායමක් ද ලැබී ඇති බවයි එහි ධාවන අංශයේ නියෝජ්‍ය කළමනාකාර ටියුඩර් චන්ද්‍රසිරි හිරු ප්‍රවෘත්ති අංශයට අදහස් දක්වමින් කියා සිටියේ.