Gossips

බෙල්ලන්විල වෛද්‍යවරියට මරු කැඳවූ නිවසේ ගින්නට හේතුව ?

බෙල්ලන්විල – ශ්‍රී සෝමරතන මාවතේ පිහිටි නිවසක ඇති වූ ගින්න ගෑස් කාන්දුවක් හේතුවෙන් හටගෙන ඇති බවට පොලීසිය සැක පළ කරනවා.
සිද්ධියෙන් 33 හැවිරිදි ගැබිණි වෛද්‍යවරියක් ජීවිතක්ෂයට පත්වූ අතර, වෛද්‍යවරයෙකු වන ඇයගේ ස්වාමි පුරුෂයා සහ පස් හැවිරිදි කුඩා පුතු තුවාල ලබා කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණා.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී එම රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අසේල ගුණවර්ධන සඳහන් කළේ තුවාල ලැබූ වෛද්‍යවරයා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බවයි.
එමෙන්ම, පස් හැවිරිදි කුඩා පුතුගේ තත්ත්වය බරපතල නොවන බවද ඔහු සඳහන් කළා.
දෙමහල් නිවසක් වන එම නිවසේ උඩු මහලේ ඇති වූ මෙම ගින්න පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණය අද ගංගොඩවිල මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකිරීමට නියමිතයි. එමෙන්ම, බොරලැස්ගමුව පොලිසිය සඳහන් කළේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂා කිරීම සඳහා රජයේ රස පරීක්ෂකවරයාද එම ස්ථානයට අද පැමිණීමට නියමිතව ඇති බවයි.
සිද්ධියෙන් මියගිය වෛද්‍යවරිය හොරණ රජයේ රෝහලේ මීට පෙර සේවය කර ඇති අතර සැමියා ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සේවය කරනවා.