Gossips

බෙදුණු අලූත්ගමගේ එක්වෙයි – එජාපය සහ පොහොට්ටුව ගම්පොලදී කිරිබත් කයි

පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී ඇතැම් ස්ථානවල ගැටුම්කාරී තත්ත්වයන් වාර්තා වුවත්, මහනුවර – ගඟඉහල කෝරලේ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා අද තෝරා ගැණුනේ සියලූ පක්ෂවල එකගත්වයෙන්.
එම අවස්ථාවට දේශපාලන වේදිකාවේ එකිනෙකාට නිරන්තරයෙන් චෝදනා එල්ල කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මහින්දානන්ද අළුත්ගමගේ සහ ආනන්ද අළුත්ගමගේද එක්ව සිටීම විශේෂත්වයක්.
සභාපතිවරයා පත් කර ගැනීමෙන් පසු ඔවුන් එකට එක්ව කිරිබත් අනුභව කරමින් ප්‍රීතිය සැමරුවා.
ගග ඉහළ කෝරලේ ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී ආසන බෙදී ගොස් තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට 12 ක්, එක්සත් ජාතික පක්ෂයට 07 ක්, එක්සත් ජනතා නිදහස් සන්ධානයට දෙකක්, ජනතා විමුක්ති පෙරමුණට එකක් සහ ස්වාධීන කණ්ඩායමකට එකක් වශයෙන්.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනෙකු පක්ෂය විසින් නම් කළ සභාපතිවරයාට විරෝධය පළ කර අද සභාවට පැමිණ සිටියේ නැහැ.
ඒ හේතුවෙන් විපක්ෂයේ ආසන සංඛ්‍යාව වැඩි අගයක් ගත්තා.
එම අවස්ථාවේ ප්‍රධාන පක්ෂ තුනේම සහයෝගය ඇතිව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ධම්මික නදීර සභාපතිවරයා වශයෙන් පත්කර ගැනීම සිදුකෙරුණා.
මේ අතර, පසුගිය පළාත් පාලන මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට බලය හිමිවු නුවරඑලිය ප්‍රාදේශීය සභාවේ සභාපති ධුරය ලංකා කම්කරු කොංග්‍රසය අද දිනා ගත්තා. ඒ, පොදුජන පෙරමුණේද සහය ලබාගනිමින්.
එසේම, ඊයේ දිනයේ මස්කෙලිය ප්‍රාදේශීය සභාවේ ඇතිවු ගැටුමෙන් පසු ඊට අදාළ තවත් සිද්ධීන් කිහිපයක් වාර්තා වූ අතර, නෝර්වුඩ් ප්‍රදේශයේදී ලංකා කම්කරු කොංග්‍රසය සහ කම්කරු ජාතික පෙරමුණේ ආධාරකරුවන් දෙපිරිසක් අතර ගැටුමක් හටගෙන තිබෙනවා.
ඉන් තුවාල ලැබූ නෝර්වුඩ් ප්‍රාදේශීය සභාවට තේරී පත්වු සභිකයින් තුන් දෙනෙකු සහ ආධාරකරුවන් දෙදෙනෙකු රෝහල් ගත කෙරුණු අතර, මධ්‍යම පළාත් සභා මන්ත්‍රීවරයෙකුගේ නිල රථයකටද ගැටුමේදී හානි සිදුවුණා.