Gossips

බෙංගාලබොක්කේ කැළඹිලි තත්ත්වයක්

බෙංගාල බොක්ක ආශ්‍රිතව කැළඹිලිසහගත තත්ත්වයක් වර්ධනය වෙමින් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්‍යක්‍ෂ අතුල කරුණානායක සඳහන් කළේ එය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වුවහොත් ලබන සතිය තුළ දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම අද පස්වරු කාලයේදීද දිවයිනේ බොහෝ ප්‍රදේශවලට තද වැසි ඇතිවිය හැකි බව ඔහු සඳහන් කළා.
මේ අතර, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ ජලාශ කිහිපයක වාන් දොරටු තවමත් විවෘත කර ඇති බවයි.
දැදුරු ඔයේ වාන් දොරටු 4ක්ද, උඩවලව ජලාශයේ එක් වාන් දොරටුවක් සහ කලා වැවේ වාන් දොරටුවක්ද විවෘත කර ඇති බව ඔහු සඳහන් කළා.
ඒ පිළිබඳව ජලාශ පහළ කොටසේ ජීවත්වන ජනතාව අවධානයෙන් පසුවිය යුතු බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධක්‍ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ.
එමෙන්ම අකුණු අනතුරු ඇතිවන අවස්ථාවේදී රැහැන් රහිත දුරකථන භාවිතය සහ විවෘත වාහනවල ගමන් කිරීමෙන් වළකින ලෙසද ඔහු ඉල්ලා සිටියා.
මේ අතර වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ ජල විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂිකා මාලා අලවතුගොඩ සඳහන් කළේ පසුගිය පැය 24 ක කාලසීමාව තුළ ප්‍රමාණවත් වර්ෂාවක් නොමැතිවීම හේතුවෙන් ගංඟා ජල මට්ටම ඉහළ ගොස් නොමැති බවයි.