Gossips

බුදු පිළිමවලට හානිකළ අයියා – මලෝ සොයා බලංගොඩ මෙහෙයුම්

මාවනැල්ල සහ අවට ප්‍රදේශවල බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ලවන ප්‍රධාන සැකකරුවන් වන එකම පවුලේ සොහොයුරන් දෙදෙනා බලංගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට තොරතුරු ලැබී තිබෙනවා.
ඒ අනුව ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේ්ෂ මෙහෙයුමක් ආරම්භ කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පෙරේදා රාත්‍රියේ ඔවුන්ගේ පියාගේ නිවසෙහි තිබී හඳුනා නොගත් පුපුරණ ද්‍රව්‍ය තොගයක්, වායු රයිෆලයක්, පණිවුඩ හුවමාරු යන්ත්‍ර ඇතුලූ තවත් භාණ්ඩ රැසක් සොයාගත්තා.
ඒ, එම පියා අත්අඩංගුවට ගැනීමෙන් පසු සිදුකරන ලද පරීක්ෂණවලින් අනතුරුවයි.
එම ස්ථානයේ තිබී 13 දෙනෙකුගේ නම් ලැයිස්තුවක්ද සොයාගෙන ඇති අතර, බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවේ සිටින හත්දෙනෙකුගේ නම් එම ලේඛනයට ඇතුළත්.
සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා මාවනැල්ල – හිගුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් අන්තවාදී ආගමික කල්ලියක සාමාජිකයින් ලෙස කටයුතු කරන බවට දැනට සිදුකරන ලද පරීක්ෂණවලින් අනාවරණ වී ඇති බවයි ප්‍රදේශය භාර උසස් පොලිස් නිලධාරියෙකු සඳහන් කළේ.
සැකකරුවන් පුත්තලම – වනාතවිල්ලූව ප්‍රදේශයේ පොල්වත්තක සැඟව සිටින බවට ලද තොරතුරක් මත ඔවුන් අත්අඩංගුවට ගැනීමට යාමේදී එහි තිබී අධිබලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 100 කට ආසන්න ප්‍රමාණයක් සහ ඩෙටනේටර් 100කට වැඩි සංඛ්‍යාවක්ද සොයාගත්තා.
මේ අතර මාවනැල්ල – රන්දිවෙල ප්‍රදේශයේ එලෙස විනාශ කරන ලද බුදු පිළිමයක් වෙනුවට නව බුදු පිළිමයක් තැන්පත් කිරීම අද ප්‍රදේශවාසීන් විසින් සිදුකළා. හිරු වාර්තාකරු සඳහන් කළේ මාවනැල්ල – බෙලිගම්මන රජමහා විහාරස්ථානයේ සිට රිය පෙරහරකින් බුදු පිළිමය වැඩමවූ බවයි.