Gossips

බුදුන්ගේ රස්තියාදුව ගැන සොයන්නැයි පොලීසියට පැමිණිල්ලක්

බුදුන් වහන්සේට සහ බුදුදහමට නිගා දෙන අයුරින් ලියා පළ කර තිබෙන ‘බුදුන්ගේ රස්තියාදුව’ නම් කෘතිය සම්බන්ධයෙන් නීතිමය පියවර ගන්නා ලෙස උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විජේදාස රාජපක්ෂ, පොලිස්පති පූජිත් ජයසුන්දර වෙත ලිපියක් මගින් දැනුම් දී තිබෙනවා.
අදාළ ග්‍රන්ථය තුළින් බෞද්ධ ජනතාව මහත් පීඩාවට සහ චිත්ත කම්පාවට පත්ව ඇති බවටයි දැනුම් දී ඇත්තේ.
එමෙන්ම එම කෘතියේ කර්තෘ, ප්‍රකාශකයන්, බෙදා හරින්නන් සහ අලෙවි කරන්නන් දණ්ඩ නීති සංග්‍රහයේ ඇති වගන්තිවලට අනුව සාපරාධී වරදක් සිදුකර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළා.
එබැවින් ඒ පිළිබදව පරීක්ෂණයක් පවත්වා ඔවුන්ට එරෙහිව නඩු පැවරීමට කටයුතු කරන ලෙසටයි පොලිස්පතිවරයාට දැනුම් දී ඇත්තේ.
මේ අතර, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංගට විරුද්ධව බෞද්ධ තොරතුරු කේන්ද්‍රය ඊයේ (20) පොලිස් මූලස්ථානයට පැමිණිල්ලක් ඉදිරිපත් කළා.
ඒ, හිටපු ජනාධිපතිනිය සභාපතීත්වය දරණ සංහිදියා කාර්යාංශය විසින් බුදුදහමට අපහාස වන අයුරින් සකසා ඇති බව කියන නාට්‍ය මාලාවක් මුල් කර ගනිමින්.