Gossips

බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලයෙන් ඉල්ලීමක්

මහා සංඝරත්නයේ ආශිර්වාදය නොලද නව ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් නොකරන ලෙස බුද්ධ සාසන කාර්යසාධක මණ්ඩලය අවධාරණය කරනවා.
නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය පවසන්නේ මෙම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සඳහා මහා සංඝරත්නය හෝ ඔවුන්ගේ නියෝජිතයින් හෝ සම්බන්ධ කර ගැනීමට රජය ක්‍රියා නොකළ බවයි.
පුජ්‍ය දිවියාගහ යසස්සි හිමි සභාපතීත්වය දරන බුද්ධ සාසන කාර්යසාධක මණ්ඩලය නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ නව ව්‍යවස්ථාව සම්බන්ධයෙන් මෙතෙක් ඉදිරිපත් වූ සෑම වාර්තාවකම සහ යෝජනාවලියකම බුද්ධාගමට ප්‍රමුඛස්ථානය පිරිනමන 9 වන වගන්තියට විකල්ප යෝජනා ඉදිරිපත් කර ඇති බවයි.
එම සියලු විකල්ප යෝජනා වල හරය බුද්ධාගමට ලබා දී ඇති ප්‍රමුඛස්ථානය අකර්මණ්‍ය කිරීම බව එම නිවේදනයේ දැක්වෙනවා.
අදාල නිවේදනයේ දැක්වෙන්නේ වත්මන් ව්‍යවස්ථාවට අනුව බුද්ධ සාසනය ආරක්ෂා කොට පෝෂණය කිරීමට රජය වෙත පවරා ඇති වගකීම ක්‍රියාත්මක කළ හැක්කේ ශ්‍රී ලංකාව ඒකීය රාජ්‍යයක් වශයෙන් පැවතියහොත් පමණක් බවයි.
නමුත් යෝජිත ව්‍යවස්ථා කෙටුම්පතින් යෝජනා කර ඇති රාජ්‍ය ව්‍යුහය ෆෙඩරල් ආකෘතියකින් සමන්විත බවත් යම් පළාත් සභාවක් සම්මත කර ගන්නා නීතියක් වෙනස් කිරීම හෝ අහෝසි කිරීම ප්‍රායෝගිකව ඉතා දුෂ්කර කාර්යයක් බවට පත් කර ඇති බවත් බුද්ධ සාසන කාර්යසාධක මණ්ඩලය පෙන්වා දෙනවා.
මෙහි අවසාන ප්‍රතිඵලය උතුරු සහ නැගෙනහිර පළාත් වල 9 වන වගන්තිය ක්‍රියාත්මක කිරීමට නොහැකි වීම බවත් මෙම කෙටුම්පත සකස් කිරීමට මහා සංඝරත්නය සම්බන්ධ කර ගෙන නොමැති බවත් එම නිවේදනයේ සඳහන්.
ඉදිරිපත් කර ඇති යෝජනාවලින් සඳහන් බොහෝ කරුණු සම්බන්ධයෙන් එකඟ වීමට නොහැකි වන හෙයින් නව ව්‍යවස්ථාවක් අවශ්‍ය නම් ඒ සඳහා මහා සංඝ රත්නයේ නියෝජනයද ඇතුලත් ව්‍යවස්ථා සම්පාදන කමිටුවකට එම කටයුත්ත භාර කරන ලෙසට සිය නිවේදනය මගින් බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය රජයෙන් ඉල්ලා සිටිනවා.