Gossips

බීමතින් පැමිණි දෙදෙනෙකු රාජාංගනයේ හිමිනමකට පහර දෙයි

උත්සව සමයේ පැවති සාදවලදී බහින් බස්වීම් දුරදිග යාමෙන් ඇති වූ ගැටුම් පිළිබදව ප්‍රදේශ කිහිපයකින් තොරතුරු වාර්තා වනවා.
එහිදී හුංගම සහ නොච්චියාගම ප්‍රදේශවලට අමතරව, කුලියාපිටිය – බැමිණිගල්ල ප්‍රදේශයෙන් ද පුද්ගල ඝාතනයක් වාර්තා වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
කුලියාපිටිය – බැමිණිගල්ල ප්‍රදේශයේදී දෙදෙනෙකු අතර, ඇති වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කර තිබෙනවා.
මෙලෙස ඊයේ ඝාතනයට ලක්වී ඇත්තේ බැමිණිගල්ල ප්‍රදේශයේම පදිංචි 55 හැවිරිදි පුද්ගලයෙක්.
පහරදුන් පුද්ගලයා පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
එමෙන්ම,හුංගම – ලූනම ප්‍රදේශයේදී ද, දෙපිරිසක් අතර ඇතිවූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු අම්බලන්තොට රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ඊයේ ජීවිතක්ෂයට පත්වී ඇති බවයි පොලීසිය සදහන් කළේ.
මියගිය පුද්ගලයා සීනිගම ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි අයෙක්. සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පුද්ගලයින් තුන් දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මීට අමතරව, නොච්චියාගම ප්‍රදේශයේදී මිතුරන් පිරිසක් සමඟ පැවති අවුරුදු සාදයකදී, බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇතිවූ ගැටුමකින් ද 38 හැවිරිදි අයෙක් මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයින් 05 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, කන්තලේ වැවේ – බටහතර ප්‍රදේශයේදී ඊයේ සිදුවූ පහරදීමකින් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකු ඇතුළු දස දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව පොලීසිය පවසනවා.
තුවාල ලැබූ පුද්ගලයින් කන්තලේ වැවෙහි දියනාමින් සිටි ඇති අතර, එම අවස්ථාවේදී ප්‍රදේශයේම පදිංචි පුද්ගලයින් පිරිසක් බීමතින් පැමිණ කාන්තාවන්ට හිරිහැර කර ඇති බවයි වාර්තා වන්නේ.
දිය නාමින් සිටි පිරිස කන්තලේ පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනෙකුගේ ඥාතීන්.
පසුව, ඔවුන් ද එම ස්ථානයට පැමිණ ඇත්තේ මේ පිළිබදව සොයා බැලීම සදහායි.
එම අවස්ථාවේදී ප්‍රදේශවාසීන් පිරිස වීදුරු බෝතල්වලින් පොලිස් පරීක්ෂකවරුන් දෙදෙනා ඇතුළු එම පිරිසට පහරදී තිබෙනවා.
පහරකෑමෙන් තුවාල ලැබූ ඔවුන් මේ වනවිට ප්‍රතිකාර ලබන්නේ කන්තලේ රෝහලේයි.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය සදහන් කළේ.
ඒ අතර කන්තලේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු ද සිටිනවා.
මෙම සිදුවීම් වලට අමතරව, බීමතින් විහාරස්ථානයට පැමිණ හිමිනමකට පහරදුන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමේ පුවතක් ද වාර්තා වුණා.
රාජාංගනය – සුදර්ශනාරාම විහාරස්ථානයේ වැඩ විසූ හිමිනමකටයි ඔවුන් මෙලෙස අද පහරදී ඇත්තේ.
පහරදුන් පුද්ගලයින් දෙදෙනා එකම පවුලේ සහෝදරයන් වන අතර, බීමතින් විහාරස්ථානයට නොපැමිණෙන ලෙස සිදුකළ අවවාදයට උරණ වීමෙනුයි හිමිනමට පහරදී ඇත්තේ.
ඊට මැදිහත් වූ විහාරස්ථානයේ රැදී සිටි ගිහි පුද්ගලයෙකුට ද ඔවුන් පහරදී ඇති බවයි පොලීසිය සදහන් කළේ.