බීමත්ව සැකකරුවෙකුට පහරදීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ඉංගිරිය පොලීසියේ නිළධාරීන් තුන්දෙනා හෙට දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
ඒ, මොවුන් හොරණ මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.
මෙලෙස අත්අඩංගුවට ගෙන තිබුණේ ඉංගිරිය පොලීසියට අනුයුක්තව සේවය කරන සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයා, රථ වාහන අංශයේ සැරයන්වරයෙකු සහ කොස්තාපල්වරයෙකුයි.
මොවුන් ඊයේ රාත්රියේ ඉංගිරිය ප්රදේශයේ මාර්ගයක රාජකාරී කටයුත්තක නිරතව සිට ඇති අතර ඒ ආසන්නයේ බස් නැවතුමක් අසළ රැදී සිටි තරුණයන් දෙදෙනෙකුගෙන් අදාළ ස්ථානයේ රැදී සිටීමට හේතුව කුමක් දැයි ප්රශ්න කර තිබෙනවා.
එම අවස්ථාවේ තරුණයන් දෙදෙනා සහ පොලිස් නිලධාරීන් අතර බහින්බස්වීමක් සිදුව තිබෙන අතර පොලිස් නිලධාරීන් තරුණයන් දෙදෙනාට පහර දී ඇති බව සඳහන්.
ඉන් එක් තරුණයෙකු තුවාල ලබා ඉංගිරිය දිසා රෝහලට ඇතුළත් කර තිබෙනවා.
27 හැවිරිදි මෙම තරුණයා කොම්පඤ්ඤවීදිය යුද හමුදා කදවුරට අනුයුක්තව සේවය කරන හමුදා සෙබලෙක්.
මෙම සිද්ධියෙන් පසුව තරුණයන් දෙදෙනාට සිදුකළ පහරදීමට විරෝධය පළ කරමින් ගම්වාසීන් ඉංගිරිය පොලීසිය වෙත කඩා වැදී තිබුණා.
එහිදී උණුසුම් තත්ත්වයක් හට ගත් අතර, තත්ත්වය පාලනය කරනු ලැබුවේ පානදුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයා හොරණ පොලීසියේ ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් පිරිසක් ඉංගිරිය පොලීසිය වෙත යැවීමෙන් අනතුරුවයි.
මෙහිදී චෝදනා එල්ල වී ඇති නිලධාරීන් සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය පියවර පිළිබදව හොරණ පොලීසියේ ස්ථානාධිපතිවරයා පැමිණ සිටි පිරිසට කරුණු පැහැදිලි කළා.
එම පැහැදිලි කිරීමෙන් සුළු මොහොතකට පසු අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් බීමතින් සිට ඇති බවට බැලූම් පරීක්ෂාවේදී ද අනාවරණ වී ඇති බව පොලීසියට පැමිණ සිටි ගම්වාසීන්ට ප්රකාශ කිරීමත් සමඟ උණුසුම් තත්ත්වය පාලනය වී තිබෙනවා.
මේ අතර, පොලිස්පති පූජිත් ජයසුන්දර පානදුර කොට්ඨාශ භාර පොලිස් අධිකාරීවරයාට නියෝග කර ඇත්තේ මෙම සිද්ධියට සම්බන්ධ පොලිස් නිලධාරීන් තුන්දෙනාගේ සේවය වහාම ක්රියාත්මක වන පරිදි අත්හිටුවන ලෙසටයි.
එමෙන්ම සිද්ධිය පිළිබදව විශේෂ පරීක්ෂණයක් සිදුකරන ලෙස ද පොලිස්පතිවරයා නියෝග කර තිබෙනවා.