Gossips

බිල වැඩිකිරීම ගැන තවමත් තීන්දුවක් නැතැයි විදුලිය කියයි

ඉන්ධන මිල ඉහළ යාම හමුවේ විදුලිබිල ඉහළ යාමේ අවදානමක් පවතින බවට විදුලිබල වෘත්තීය සමිති අනාවරණ කරනවා.
ලංකා විදුලි සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් ජයලාල් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී කියා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලය විදුලිය වැඩිපුරම ලබා ගන්නේ ඩීසල් දහනය කර බැවින් එය විදුලිබිල ඉහළ දැමීමට ඍජුවම බලපාන කරුණක් බවයි.
කෙසේ වෙතත්, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ විදුලිබිල ඉහළ නැංවීමේ තීරණයක් පිළිබඳ මෙතෙක් අවධානය යොමුකර නොමැති බවයි.
මේ අතර, ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීම හමුවේ බස් ගාස්තු වැඩිවීම පිළිබඳ අද පස්වරුවේ ප්‍රකාශයට පත් කරන බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමය ප්‍රකාශ කළා.
එහි සභාපති ගැමුණු විජේරත්න කියා සිටියේ තම සංගමයේ විශේෂ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීමකදී බස් ගාස්තු ඉහළ නැංවිය යුතු ප්‍රතිශතය තීරණය කරන බවයි.
කෙසේ වෙතත්, හදිසියේ බස් ගාස්තු වැඩි කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය හිමිවීම අත්‍යාවශ්‍ය බවයි මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය අශෝක් අබේසිංහ සඳහන් කළේ.
ඉන්ධන මිල ඉහළ දැමීමත් සමඟ ගාස්තු ඉහළ දැමීමක් සිදුකළ යුතු බැවින් එය දෙමාපියන්ටද අපහසුවක් නොවන පරිදි සිදුකරන බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය පවසනවා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ඉන්ධන මිල ඉහළ දමනු ලැබුවා.
ඒ අනුව පෙට්‍රල් ලීටරයක් රුපියල් 20 කින් ඉහළ දැමුණු අතර, ඔටෝ ඞීසල් ලීටරයක මිල ඉහළ නැංවුණේ රුපියල් 14 කින්.
සුපර් ඩීසල් ලීටරයක මිල ද රුපියල් 9 කින් ඉහළ දැමුණු අතර, භූමිතෙල් ලීටරයක මිල රුපියල් 57 කින් ඉහළ නංවා තිබුණා.
මෙම මිල ඉහළ දැමීමට සාපේක්ෂව ලංකා අයි. ඕ.සී. සමාගමද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල යළි ඉහළ දැමූ අතර, ඒ අනුව, ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137 දක්වා ඉහළ දැමූ ඔවුන් ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල ඉහළ දමා තිබුණේ රුපියල් 151 දක්වායි.
ඩීසල් මිල සංස්ථා මිලට සමාන වන අයුරින් අයි. ඕ.සී. සමාගම ඉහළ දමා තිබුණා.