Gossips

බිංගිරියේදී පුද්ගලයෙකු පවුලේ සාමාජිකයන්ට තියුණු ආයුධයකින් පහරදී දිවි හානි කරගනී

බිංගිරිය – ඉහළ කඩිගමුව ප්‍රදේශයේදී පුද්ගලයෙකු සිය මාස 6 ක බිළිඳා, බිරිඳ සහ ඇයගේ දෙමව්පියන්ට තියුණු ආයුධයකින් පහරදී සියදිවි නසාගෙන තිබෙනවා.
අද දහවල් 1.35 ට පමණ මෙම අපරාධය සිදුවී ඇතැයි සඳහන්.
සිද්ධියෙන් තුවාල ලැබූ බිළිඳා සහ අනෙක් තිදෙනා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර, එහිදී බිළිඳා මියගිය බවයි කුලියාපිටිය මූලික රෝහලේ ප්‍රකාශකයෙකු කියා සිටියේ.
සැකකරුගේ 24 හැවිරිදි බිරිඳ, ඇයගේ 42 හැවිරිදි මව සහ අවුරුදු 62 ක් වයසැති පියා බරපතල තත්වයෙන් කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබනවා.
මෙම පුද්ගලයා මාස 3 ක පමණ කාලයක් නිවසින් බැහැරව සිටි යළිත් නිවසට පැමිණ මෙම අපරාධය සිදුකර ඇති බවයි පොලිසිය කියාසිටියේ.
ඔහුගේ මුහුණ සහ හිස හඳුනාගත නොහැකි ආකාරයෙන් දැඩි ලෙසට හානිවී ඇති අතර පොලිසිය සැක කරන්නේ හක්කපටස් වැනි පුපුරන ද්‍රව්‍යයක් උපයෝගී කර ගනිමින් මෙලෙස දිවි හානිකර ගන්නට ඇති බවටයි.
දරුණු කැපුම් තුවාල සහිතව රෝහලට ඇතුළත් කළ සියදිවි නසාගත් පුද්ගලයාගේ බිරිඳ සහ ඇගේ දෙමව්පියන්ගේ තත්ත්වයද බරපතල බව සඳහන්.
බිංගිරිය පොලිසිය සිද්ධිය පිළිබඳ විමර්ශණ ආරම්භ කර තිබෙනවා.