Gossips

බැසිල්, ජනපති හමුවෙයි – දෙමළ සන්ධානයේ පක්ෂ අතරත් හමුවක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ අතර හමුවක් ඊයේ රාත්‍රියේ සිදුව තිබෙනවා.
ජනාධිපති නිල නිවසේ පැවති මෙම හමුවේදී රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් අවධානය යොමුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම හමුවට පෙර ආණ්ඩුවේ අමාත්‍යවරුන් ඇතුළු ජේ්‍යෂ්ඨයන් කිහිප දෙනෙකු ද ජනාධිපතිවරයා මුණ ගැසී තිබෙනවා.
මේ අතර දෙමල ජාතික සන්ධානය ජනාධිපති ලේකම් කාර්යාලයේදී අද පස්වරු 4ට යලි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හමුවීමට නියමිතයි.
පසුගිය සිකුරාදා දිනයේ ද ඔවුන් ජනාධිපතිවරයා මුණ ගැසුණු අතර එහිදී රටේ දේශපාලන තත්ත්වය පිළිබඳව අවධානය යොමු වී තිබුණා.
මේ අතර එක්සත් ජාතික පෙරමුණේ නායකයන් ද අද රාත්‍රියේ යළිත් වරක් ජනාධිපතිවරයා මුණ ගැසීමට නියමිතව තිබෙනවා.
එම සාකච්ජාව ඊයේ දිනයට යෙදී තිබුණ ද එය අදට කල් දමා තිබුණේ ජනාධිපතිවරයා තවත් පාර්ශව කිහිපයක් සමඟ සාකච්ජා පැවැත්වීමට නියමිත තිබූ නිසා බවටයි වාර්තා වුණේ.
එක්සත් ජාතික පෙරමුණ ද පසුගිය සිකුරාදා ජනාධිපතිවරයා මුණ ගැසුණා.
එමෙන්ම දෙමල ජාතික සන්ධානය නියෝජනය කරන ඉලංගෙයි තමිල් අරසු පක්ෂය, ටෙලෝ සංවිධානය සහ ෆ්ලොට් සංවිධානය හෙට කොළඹ දී රැස්වීමට නියමිතයි.
වත්මන් දේශපාලන තත්ත්වය තුල දෙමල ජාතික සන්ධානයේ ඉදිරි ක්‍රියාකාරීත්වය පිළිබඳව මතු වී ඇති පරස්පරතා පිළිබඳව සාකච්ජා කිරීම මෙම හමුවේ අරමුණ වී තිබෙනවා.
දෙමල ජාතික සන්ධානය එක්සත් ජාතික පෙරමුණට සහයෝගය දැක්වීමත් සමඟ ටෙලෝ සංවිධානය ඊට විරෝධය පළ කර තිබුණා.
පසුගිය සෙනසුරාදා රැස්වූ එම සංවිධානයේ කාරක සභාව තීරණය කරනු ලැබුවේ ලිඛිත පොරොන්දුවක් ලබා ගැනීම ඇතුළු කොන්දේසි 05ක් මත එක්සත් ජාතික පෙරමුණට සහයෝගය ලබාදිය යුතු බවටයි.
මේ අතර හෙට සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගනයේදී පැවත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විශේෂ මහ සමුළුවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට හෝ වෙනත් කිසිදු දේශපාලන පක්ෂයකට ආරාධනා නොකළ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන මහ ලේකම් අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළා.
එමෙන්ම වත්මන් දේශපාලන තත්ත්වය පිිලිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට දිනයේ පැවැත්වෙන විශේෂ මහ සමුළුවේදී අදහස් පළ කරනු ඇති බවයි අමාත්‍යවරයා අප කළ විමසීමකදී වැඩිදුරටත් කියා සිටියේ.