Gossips

බැඳුම්කර හා බරපතල වංචා කොමිසම් වාර්තා පිළිබඳ විවාදය කල් යයි

බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිසන් වාර්තාවේ ඉංගී‍්‍රසි සහ දෙමළ පිටපත් නොමැතිවීම හේතුවෙන් ඒ පිළිබඳව අද පස්වරුවේ පැවැත්වීමට නියමිතව තිබූ කල්තැබීමේ විවාදය නොපවත්වා පාර්ලිමේන්තුව හෙට දක්වා කල් තැබුණා.
බැඳුම්කර කොමිසමේ වාර්තාවේ දෙමළ පිටපතද ලබාදී නොමැති බවයි මෙහිදී අනාවරණ වුණේ.
දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ.සුමන්දිරන් ඒ පිළිබඳව සභාවේ අවධානය යොමුකළ අතර, එහිදී ඒකාබද්ධ විපක්ෂයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන සහ වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරයා අදහස් පළ කළා.
ඉන් අනතුරුව සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල සභාව කල් තැබීම සඳහා එකඟත්වය පළ කළ අතර, ඒ අනුවයි කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුව කල් තැබීමට පියවර ගත්තේ.
මේ අතර, ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් මෙතෙක් තමන්ට දැනුම්දීමක් සිදුකර නොමැති බව කතානායක කරූ ජයසූරිය ප්‍රකාශ කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම කතානායකවරයාගෙන් විමසා සිටියේ ජාතික ආණ්ඩුව දීර්ඝ කිරීම සම්බන්ධයෙන් දැනුවත් ද යන්න පිලිබදවයි.
ඊට පිළිතුරු ලෙසයි කතානායකවරයා මේ බව සදහන් කළේ.
එමෙන්ම හෙට දිනයේදී ඒ පිළිබද ප්‍රකාශයක් සිදුකරන බව ද කතානායකවරයා පාර්ලිමේන්තුව හමුවේ කියා සිටියා.