Gossips

බැඳුම්කර විවාදය යළි ලබන මස පැවැත්වෙන ලකුණු

බැඳුම්කර සහ බරපතල වංචා විමර්ශන කොමිසම් වාර්තා පිළිබඳ විවාදය ලබන මාසයේ දිනයක පැවැත්වීම කෙරෙහි අවධානය යොමුවී තිබෙනවා.
පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ ඊට අදාළ දිනය පිළිබඳව මෙතෙක් අවසන් තීරණයකට එළඹ නොමැති බවයි.
අදාළ විවාදය පවත්වාගෙන යාම මේ වනවිට ගැටළුකාරී තත්ත්වයකට පත්ව ඇත්තේ එම වාර්තා පිටපත් භාෂා ත්‍රිත්වයටම පරිවර්තනය කර නොතිබීමත් සමගයි.
වාර්තා දෙකෙහි දෙමළ පරිවර්තනයේ පිටපත් මේ දක්වා නිකුත් වී නොමැති බවද පාර්ලිමේන්තු මහ ලේකම්වරයා සඳහන් කළා.
එම කටයුත්ත ජනාධිපති කාර්යාලය විසින් රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුව වෙත භාරදී ඇති අතර, එය මෙතෙක් සම්පූර්ණ කර නැහැ.
මහ බැංකු බැඳුම්කර වාර්තාව සහ බරපතල වංචා විමර්ශන වාර්තාව පිළිබඳ වූ විවාදය පසුගිය 6 වනදා පැවති අතර, අනතුරුව එය පසුගිය සඳුදා යළි ආරම්භ වුණා.
එහෙත් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් මෙම වාර්තාවල දෙමළ පිටපත් නොමැතිවීම පිළිබඳව මතු කළ ප්‍රශ්නයත් සමඟ මිනිත්තු 45 කට සීමාවූ එම විවාදය කල් තැබීමටයි එහිදී තීරණය කෙරුණේ.