මහබැංකු බැඳුම්කර පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව සහ බරපතල වංචා හා දූෂණ පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තා පිලිබඳ විවාදය අද පාර්ලිමේන්තුවේදී පැවැත්වුණා.
විවාදයේ යෝජනාව ඉදිරිපත් කරමින් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා කියා සිටියේ බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ කෝප් කමිටුවේ වාර්තාව ගැන ගත යුතු ක්‍රියාමාර්ග ඇතුළත් වාර්තාව නීතිපතිවරයා තමන් වෙත භාරදී ඇති බවයි.
එය කතානායකවරයා වෙත අද භාරදීමට කටයුතු කරන බව ද ඔහු කියා සිටියා.
පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී අදහස් දක්වමින් කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේ බන්ධනාගාර ගතව සිටින පර්පෙචුවෙල් ටේරෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් සහ එහි ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන බැලීම සඳහා ගිය අයගේ නම් ලැයිස්තුවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලෙසයි.
එමෙන්ම අග්‍රාමාත්‍යවරයා බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් ඇතැම් අවස්ථාවල සිදුකළ විශේෂ ප්‍රකාශයක් මෙන්ම ඒ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ඔහු විසින් පත් කළ පිටිපන කමිටුවද අර්ථශූන්‍ය බව බැඳුම්කර වාර්තාවේ සඳහන් වන බවද අනුර කුමාර දිසානායක එහිදී අනාවරණ කළා.
අනතුරුව අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර ප්‍රකාශ කළේ බැඳුම්කර සිද්ධියට සම්බන්ධ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට කිසිවිටකත් විදෙස් රටක සැඟවීමට ඉඩ නොදෙන බවයි. එමෙන්ම වංචනිකයින්, දූෂිතයින් කවුරු වුවද ඔවුන්ට දඩුවම් දීමට ආණ්ඩුව කටයුතු කරන බවද අමාත්‍යවරයා එහිදී ප්‍රකාශ කළා.
බැඳුම්කර සිද්ධියට සම්බන්ධ පුංචි හොරුන් නොව මහ හොරුන් අල්ලා ගැනීමට කටයුතු කළ යුතු බවද විවාදයට එක්වෙමින් විමල් වීරවංශ මන්ත්‍රීවරයා අවධාණය කළේ ආණ්ඩුවට දැඩි චෝදනා කරමින්.
අර්ජුන් මහේන්ද්‍රන් මහ බැංකු අධිපති ධුරයට පත් කරමින් එම වංචාව සිදුකළේ කවුද යන්න මෙන්ම අමාත්‍ය මලික් සමරවික්‍රම ද මහ බැංකු අධිපතිට උපදෙස් දීමට යාම කිනම් ක්‍රියාවක්ද යන්න පිළිබඳව එහිදී මන්ත්‍රීවරයා මතු කිරීමේදී මලික් සමරවික්‍රම මන්ත්‍රිවරයා සහ විමල් වීරවංශ මන්ත්‍රිවරයා අතරද සංවාදයක් ඇතිවුණා.
අද උදෑසන 10.30ට ආරම්භ කළ විවාදය අවසන් වුණේ පස්වරු 4 ටයි.