Gossips

බැඳුම්කර වාර්තාවේ ඇමුණුමක් ගැන ජනපති ලේකම්ගෙන් පැහැදිලි කිරීමක්

මහබැංකු බැඳුම්කර නිකුතුව පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත් කරන ලද ජනාධිපති කොමිසන් සභාවේ වාර්තාව සමඟ තුන්වන ඇමුණුමක් ඉදිරිපත් වී නොමැති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පවසනවා.
ජාතික නිදහස් පෙරමුණේ නියෝජ්‍ය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර පෙරේදා (02) දිනයේදී ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට පැමිණ සිදුකළ ප්‍රකාශයක් මාධ්‍ය මගින් අනාවරණය කිරීමෙන් පසුවයි ජනාධිපති ලේකම්වරයා නිවේදනයක් නිකුත් කරමින් මේ බව කියා සිටියේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත සමරවීර තොරතුරු දැනගැනීමේ පනත යටතේ පෙරේදා ජාතික ලේඛනාගාරයෙන් බැඳුම්කර වාර්තාවේ තොරතුරු ඉල්ලා සිටියා.
එහි අධ්‍යක්ෂ ජනරාල්වරිය ප්‍රකාශ කර ඇත්තේ ජනාධිපති ලේකම්වරයාගේ නියෝගයක් ලැබෙන්නේ නම්, කොමිෂන් සභා වාර්තාව සමග ඇමුණුම් 1,2,4 සහ 5 යන ලේඛන ලබාදිය හැකි බවයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති ලේකම්වරයා කියා සිටියේ බැදුම්කර වාර්තාව සමඟ තුන්වන ඇමුණුමක් ඉදිරිපත් වී නොමැති බවයි.
ඒ අනුව තමා වෙත ලැබී නොමැති ඇමුණුමක් ගැන රටට ප්‍රකාශ කළ නොහැකි බවද ඔහු එමඟින් සඳහන් කර තිබෙනවා.