Gossips

බැඳුම්කර වංචාවට වසර හතරයි – විරෝධතා රැසක්

මහ බැංකු බැඳුම්කර වංචාව සිදුවී අද වනවිට වසර 04 ක් ගතව ඇතත්, එම වංචාවේ පළමු සැකකරු ලෙස චෝදනා එල්ල වී සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රජය අපොහොසත්ව සිටිනවා.
2015 වසරේ පෙබරවාරි 27 වැනිදා සිදුවු බැඳුම්කර නිකුතුවේදී රජයට රුපියල් බිලියන 1.6 ක අවාසියක් සිදුවූ බව මුල්වරට අනාවරණ වුණේ ඒ පිළිබඳව විගණකාධිපතිවරයා නිකුත් කළ විශේෂ විගණන වාර්තාව මගින්.
පසුව මේ පිළිබඳව සොයා බැලීම සඳහා ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවක් පත් කෙරුණු අතර, එමඟින් රාජ්‍ය ආයතනවලට සිදුවූ අලාභය රුපියල් බිලියන 8.5 කට අධික බව අනාවරණ වුණා.
ඒ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරුණු වාර්තා කිරීමෙන් පසු පර්පෙචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස් හා ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අත්අඩංගුවට ගත්තා.
වසරක පමණ කාලයක් බන්ධනාගාරගතව සිටි ඔවුන් මේ වනවිට සිටින්නේ ඇපමත නිදහස්වයි.
මේ අතර, සිද්ධියට සම්බන්ධ වූවන් වසර 04 ක් ගතවූවද අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළ කරමින් ජාතික නිදහස් පෙරමුණ අද ශ්‍රී ලංකා මහ බැංකුව ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
අද පස්වරුවේද දූෂණ විරෝධී හඬ සංවිධානයද ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට මෙම සිද්ධියට විරෝධය පළ කරමින් උද්ඝෝෂණයක නිරත වුණා.