Gossips

බැඳුම්කර වංචාකරුවන්ගේ ආණ්ඩුවක් තිබෙන තුරු වැරදිකරුවන්ට දඩුවම් දිය නොහැකි බව ජනපති කියයි

රට ගොඩනැගීමට නම් විගණන සේවය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින්.
රාජ්‍ය ආයතන තුළ වංචා දූෂණ සහ අක්‍රමිකතා සිදු නොවන්නේ නම් වාර්ෂික අය වැය පරතරය පියවා ගැනීමට විදේශීය ණය සහ රාජ්‍ය බැංකුවලින් මුදල් ලබා ගැනීමට සිදු නොවන බවයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මෙහිදී පෙන්වා දුන්නේ.
රජයට ලැබිය යුතු ආදායම විනාශ කරන දෙපාර්තමේන්තු කිහිපයක් මේවන විට පාලනය කළ නොහැකි තත්ත්වයට පත්ව ඇතැයි ද ඔහු පෙන්වා දුන්නා.
තමා පිළිබද කුමන විවේචන සිදු කළ ද, ජනාධිපතිවරයා ලෙස පැවරී ඇති වගකීම් සහ යුතුකම් ගතවු වසර 4 තුළ තමා නොපිරිහෙළා ඉටුකර තිබෙන බව නොබියව ප්‍රකාශ කළ හැකි බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කළා.
මෙරට විශාලතම මංකොල්ලය වූ මහ බැංකු මංකොල්ලය පිළිබදව ජනාධිපති කොමිෂමක් පත්කර වැරදිකරුවන් රටට පෙන්වීමට කටයුතු කළ ද, පවතින රජය වෙනස් වන තුරු වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට අවස්ථාව නොලැබෙනු ඇති බවයි ජනාධිපතිවරයා කියාසිටියේ.
මහබැංකු මංකොල්ලය පිළිබද සෙවීමට පත් කළ ජනාධිපති කොමිෂමේ ප්‍රධාන නිර්දේශයක් වන වෝහාරික විගණනය තවමත් ආරම්භ වී හෝ නොමැති අතර, එම වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ එක් වගන්තියක් වෙනස් කළ යුතු වුව ද, එය ද දිනෙන් දින අතපසු වූ බව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නා.
අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යටතේ ජනාධිපති කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමේ දී පවතින නීතිය අනුව කටයුතු කරන්නේ නම් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීමට වසර 15 -20 කාලයක් ගතවනු ඇතැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළා.
එමෙන් ම 2015ට පෙර පැවති රජයේ වංචා දූෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර එම නිර්දේශ අනුව ඉදිරි කටයුතු සිදු කිරීම අදාළ ආයතනවල වගකීමක් බව ද ඔහු කියාසිටියා.
එම කොමිෂම මෙන්ම මෙම ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබදව සෙවීමට ද පසුගියදා ජනාධිපති කොමිෂමක් පත් කළ අතර තමන්ගේම ආණ්ඩුවේ වංචා දුෂණ සෙවීමේ එවන් කොමිෂමක් කිසිදු රාජ්‍ය නායකයෙකු විසින් පත් කර නොමැති බවයි ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේ.
සීමාවකින් තොරව සියලූ වංචා හා දූෂණ පිළිබද සොයා බැලීමට පත් කළ එම කොමිෂමට මේ වන විට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇති අතර අදාළ විනිසුරුවරුන් විසින් එම විමර්ශන කටයුතු ඉදිරියට ක්‍රියාත්මක කරනු ඇති බව ද මෛත්‍රීපාල සිරිසේන මහතා සදහන් කළා.