Gossips

බැඳුම්කර ගණුදෙනුවේ වෝහාරික විගණනය කඩිනම් කෙරේ

ප්‍රශ්න ගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුව සම්බන්ධයෙන් සිදුකිරීමට නියමිත වෝහාරික පරීක්ෂණය කඩිනම් කිරීමට අමාත්‍ය මණ්ඩලය එකඟතාවය පළ කර තිබෙනවා.
ඒ අනුව, ඊට අදාළ විදේශීය විශේඥයින් සොයා ගැනීම සඳහා ජාත්‍යන්තර ආයතනයක සේවය ලබා ගැනීමටයි අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී ඇත්තේ.
එම යෝජනාව මුදල් අමාත්‍ය මංගල සමරවීර ඊයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර තිබෙනවා.
අමාත්‍ය මණ්ඩල රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන්.
බැඳුම්කර සිද්ධිය පිළිබඳව සොයා බැලීමට පත් කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාව තීරණය කළේ ඒ සම්බන්ධයෙන් වෝහාරික විගණනයක් සිදුකළ යුතු බවටයි.
මේ අනුව, එම වෝහාරික විගණනය සිදුකිරීමට ශ්‍රී ලංකා මහබැංකුව තීරණය කළා.
එහි ප්‍රගතිය පිළිබඳව ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී සාකච්ඡා කෙරුණු බවයි රජයේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට කියා සිටියේ.
වෝහාරික විගණනය සඳහා විදේශීය විශේෂඥයින් සොයා ගැනීමේ කාර්ය සඳහා ටෙන්ඩර් කැඳවීම සහ ඊට අදාළ කටයුතු පිළිබඳව එහිදී සාකච්ඡාවට බඳුන්වී තිබෙනවා.
එහි වාර්තාව ඉතා කඩිනමින් ලබාදෙන ලෙසට ද ඊයේ පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපතිවරයා අදාළ අංශවලට උපදෙස් ලබාදුන් බවයි රජයේ ප්‍රකාශකවරයා කියා සිටියේ.
මහබැංකු බැඳුම්කර ගණුදෙනුවට අදාළ පරීක්ෂණ කටයුතුවල ප්‍රගතිය සහ ඉදිරි පියවර පිළිබඳව පසුගිය දිනෙක ජනාධිපති කාර්යාලයේදී තවත් සාකච්ඡාවක් පැවති අතර එහිදී ද තීරණය කෙරුණේ අදාළ පරීක්ෂණ කඩිනම් කර වෝහාරික විගණනක් සිදුකළ යුතු බවයි.