Gossips

බැඳුම්කරයෙන් අහිමිවූ මුදල් කඩිනමින් අයකරගැනීමට නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය

ප්‍රශ්ණගත මහබැංකු බැඳුම්කර ගණුදෙනුව තුළින් අහිමිවූ රුපියල් බිලියන 8.5 කට ආසන්න මුදලක් අදාළ පාර්ශවයන් වෙතින් කඩිනමින් අයකරගැනීම පිළිබඳ නීතිපති දෙපාර්තමේන්තුවේ අවධානය යොමුවී තිබෙනවා.
එම ගණුදෙනුව පිළිබඳව විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශය වූයේ ඒ සඳහා දැනට පවතින නීතිමය රාමුවේ වෙනසක් සිදුකළ යුතුද යන්න විමසා බැලිය යුතු බවයි.
ඒ සඳහා දැනට ක්‍රියාත්මක ලියාපදිංචි ස්කන්ධ සහ සුරැකුම්පත් ආඥාපනත ප්‍රමාණවත්ද යන්න මුලින්ම සළකා බලනු ඇති.
එහි සංශෝධනයක් කිරීමෙන් බැඳුම්කර ගණුදෙනුවෙන් අහිමිවූ මුදල් කඩිනමින් අයකරගැනීමේ යාන්ත්‍රණයක් සැකසිය හැකිද යන්න ඊළඟට අවධානයට ලක්වන කරුණයි.
අදාළ කරුණ සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් අග්‍රාමාත්‍යවරයා ද හමුවී සාකච්ඡා කළ බව සඳහන්.
කෙසේ නමුත් ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර ගණුදෙනුව හේතුවෙන් පොලී අනුපාතවලට සිදුවූ බලපෑම ගණනය කළ නොහැකි පාඩුවක් බවයි නීතිපති දෙපාර්තමේන්තුවේ අදහස වන්නේ.
එහෙත් එලෙස ගණනය කළ හැකි පාඩුව පියවා ගැනීම පිළිබඳව එහි ප්‍රමුඛ අවධානය යොමුවනවා.
මීට අමතරව සේවක අර්ථසාධක අරමුදල, ජාතික ඉතිරි කිරීමේ බැංකුව ආදී රාජ්‍ය ආයතන 6 කට බැඳුම්කර ගණුදෙනුව හරහා සිදුවූ පාඩුව පියවාගැනීම පිළිබඳවද අවධානය යොමුවනු ඇති.
ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුවට අදාළව දැනටමත් රුපියල් බිලියන 12 ක මුදලක් මහ බැංකුව මගින් තහනම් කොට පවත්වාගෙන යන අතර, නීිතිමය රාමුවක් තුළින් අදාළ මුදල් පාඩු පියවා ගැනීම සඳහා යොදවා ගැනීමට ඉඩ සැළසෙනු ඇතැයි අපේක්ෂිතයි.
කෙසේ නමුත් නීතිපති දෙපාර්තමේන්තුව විසින් මේ වනවිට සිදුකරනු ලබන්නේ ප්‍රශ්නගත බැඳුම්කර ගණුදෙනුව පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභාවේ නිර්දේශ ක්‍රියාවට නැංවීමයි.