Gossips

බැදුම්කර වාර්තාවේ C – 350 ප්‍රසිද්ධ කිරීම ගැටලූවක් නැහැ – නීතිපති, ජනපති ලේකම්ට දන්වයි

මහබැංකු බැදුම්කර වාර්තාවේ සී – 350 ලේඛණය ප්‍රසිද්ධියට පත් කිරීමෙන්, ප්‍රශ්නගත බැදුම්කර ගණුදෙනුව පිළිබද විමර්ශනවලට අගතියක් සිදුනොවන බව නීතිපති ජයන්ත ජයසූරිය, ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දුට දැනුම්දී තිබෙනවා.
පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර තොරතුරු දැන ගැනීමේ පනත යටතේ ජනාධිපති ලේකම් කාර්යාලයෙන් බැදුම්කර වාර්තාවේ පූර්ණ පිටපතක් ඉල්ලා සිටීමෙන් අනතුරුව ජනාධිපති ලේකම්වරයා ඒ සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා සිටියා.
ඒ අනුවයි, නීතිපතිවරයා විසින් ලිඛිතව මෙම තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීමෙන් විමර්ශනවලට අගතියක් නොවන බව දැනුම්දී ඇත්තේ.
මහබැංකු බැදුම්කර වාර්තාවේ තොරතුරු ප්‍රසිද්ධ කිරීම සම්බන්ධයෙන් තමන් නීතිපතිවරයාගෙන් උපදෙස් විමසා ඇති බව ජනාධිපති ලේකම් ඔස්ටින් ප්‍රනාන්දු පසුගියදා ප්‍රකාශ කළා.
කෙසේ වෙතත්, පසුගිය 5 වනදා කතානායක කරූ ජයසූරිය පාර්ලිමේන්තුවට කියා සිටියේ මහබැංකු බැදුම්කර වාර්තාවේ සී – 350 සිට සී – 360 දක්වා සමස්ත ලේඛණවල කොටසක් පමණක් තමන් වෙත ලැබී ඇති බවයි.
එබැවින් පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාව ඒකමතිකව තීරණය කළ පරිදි එම වාර්තාවේ සම්පූර්ණ ලේඛණ ලැබුණ විගසින් ඒවා සභාවට ඉදිරිපත් කරන බවයි කතානායකවරයා එහිදී දැනුම් දුන්නේ.