Gossips

බැංකුවක මුල්‍ය වංචාවකට සම්බන්ධ ගණකාධිකාරීවරියක් අත්අඩංගුවට

ගම්පහ ප්‍රදේශයේ බැංකුවක ගණකාධිකාරීවරියක ලෙසට සේවය කරමින් රුපියල් 22,941,349 (දෙකෝටි විසිනව ලක්ෂ හතලිස් එක්දහස් තුන්සිය හතලිස් නවයක) මුදලක් වංචා කළ කාන්තාවක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඊයේ කෑගල්ල ප්‍රදේශයේදී ඇය අත්අඩංගුවට ගෙන ඇත්තේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ විමර්ශණයකින් අනතුරුවයි.
සැකකාරිය පසුගිය 18 වනදා ඩුබායි සිට කටුනායක ගුවන්තොටුපලින් මෙරටට පැමිණ ඇති අතර එහිදී ආගමන විගමන නිලධාරීන් ඇය අත්අඩංගුවට ගෙන තිබුනා.
කෙසේවෙතත් එහිදී සැකකාරිය පළාගොස් තිබූ බවයි පොලිසිය සඳහන් කළේ.
මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දුරකථන කුලුණු වාර්තා ඔස්සේ විමර්ශණ සිදු කිරීමෙන් පසුව සැකකාරිය සිටින ප්‍රදේශය හඳුනාගෙන ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවා.
36 හැවිරිදි මෙම කාන්තාව ගම්පහ දිමුතු මාවත ප්‍රදේශයේ පදිංචිකාරියක් බවටයි හෙළිවී ඇත්තේ.
ඇය අද ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මෙම සැකකාර කාන්තාව ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් භාරයේ සිටියදී පළායාම සම්බන්ධයෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශණයක් ආරම්භ කර තිබෙනවා.