Gossips

බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව ශ්‍රී ලංකාව ගැන කතාබහක

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ඇතුළු පශ්චාත් යුද තත්ත්වය සොයා බැලීම සඳහා කොමිසමක් පත් කළ යුතු බව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් යෝජනා කර තිබෙනවා.
සත්‍යය, නීතිය සහ ප්‍රතිසංවිධානය මෙන්ම නැවත යුද තත්ත්වයක් ඇති නොවීමට ලක් රජය කටයුතු කළ යුතු බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ වෙස්ට්මිනිස්ටර් ශාලාවේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඊයේ (20) පැවති විවාදයකදී ඔවුන් මේ බව සඳහන් කළා.
මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් ස්වාධීන පරීක්ෂණ සිදුකිරීමට ජගත් මානව හිමිකම් මණ්ඩලයේදී ශ්‍රී ලංකාව එකඟතාවය පළ කළ ද මෙතෙක් එම කටයුතු සිදුකර නොමැති බවටයි කන්සවේටිව් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වන පෝල් ස්කලී මෙහිදී චෝදනා කළේ.
පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ ආසියානු පැසිෆික් කලාපය භාර බ්‍රිතාන්‍ය රාජ්‍ය විදේශ අමාත්‍යවරයා වන මාර්ක් ෆීල්ඩ් විවාදයට එක්වෙමින් සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ප්‍රතිසංවිධාන කටයුතු මේ වනවිටත් ක්‍රියාත්මක වන බවයි.
නමුත්, එම කටයුතු මන්දගාමී ස්වරූපයකින් ක්‍රියාත්මක වන බව ද ඔහු ප්‍රකාශ කර තිබෙනවා.
ශ්‍රී ලංකාව ප්‍රතිසංවිධාන කටයුතු නිවැරදිව සිදුකරන්නේ නම් ඊට සහය දැක්වීමට සූදානම් බවයි මාර්ක් ෆීල්ඩ් කියා සිටියේ.
මේ අතර, ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයාගේ වාර්තාව අද (21) මානව හිමිකම් සමුළුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
කෙසේ වෙතත්, පසුගියදා සිය වාර්තාව ගොනු කරමින් ඔහු සඳහන් කළේ ශ්‍රී ලංකාවේ වගවීමේ ක්‍රියාවලිය ශක්තිමත් කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සොයා බලන ලෙස තමන් මානව හිමිකම් මණ්ඩලයෙන් ඉල්්ලා සිටින බවයි.