Gossips

බ්‍රිතාන්‍ය ඇතුලු රටවල් 5 ක අනුග්‍රහයෙන් ශ්‍රී ලංකාව ගැන යෝජනාව ජගත් මානව හිිමිකම් කවුන්සිලයට

මෙරට සංහිඳියාව සහ වගවීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් මහ බ්‍රිතාන්‍ය හා ජර්මනිය ඇතුළු රටවල් 5 ක අනුග්‍රහය ඇතිව සකස් කළ යෝජනාවලිය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 40 වන සැසිවාරය වෙත ඉදිරිපත් කර තිබෙනවා.
සංහිඳියාව, වගවීම හා මානව හිමිකම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග එහි ඇතුළත් වන අතර, එම යෝජනාව එක්සත් රාජධානිය ඉදිරිපත් කරන්නේ කැනඩාව, ජර්මනිය, මැසිඩෝනියාව සහ මොන්ටිනීග්‍රෝ යන රාජ්‍යයන් සමඟ එක්වයිි.
2015 වසරේදී ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කවුන්සිලයේදී සම්මත කරගත් යෝජනාව ඉදිරිපත් කිරීමටද එම කණ්ඩායම එක්වුණා.
2015 ඔක්තෝම්බර් හා 2017 මාර්තු මාසයේ ඉදිරිපත් කළ යෝජනා මගින් ශ්‍රී ලංකාව එකඟ වූ කරුණු ක්‍රියාත්මක කිරීමට දිරිගන්වන බව ද මෙම යෝජනාවේ සඳහන්.
අතුරුදන්වූවන් පිළිබඳ කාර්යාල පිහිටුවීම, හමුදාව විසින් උතුරේ අත්පත් කරගෙන තිබූ සිවිල් ජනතාවගේ ඉඩම් යළි ඔවුන් වෙත ලබාදීමට කටයුතු කිරීම ආදී කරුණු එම යෝජනාවෙන් පැසසුමට ලක් කර තිබෙනවා.
එසේම, 1978 ත්‍රස්ත මර්දන පනත සංශෝධනය කිරීමේ කටයුතු වෙනුවෙන් කාල රාමුවක් ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකාව දිරිමත් කරන බව ද එහි සඳහන්.
ප්‍රධාන කරුණු 4 කින් සමන්විත යෝජනාවලිය මගින් 30/01 යෝජනාව යටතේ ශ්‍රී ලංකාව එකඟ වූ එහෙත් මෙතෙක් ක්‍රියාත්මක කර නොමැති කරුණු ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටින අතර, ශ්‍රී ලංකාවේ මානව හිමිකම්, සත්‍යය, යුක්තිය, සංහිඳියාව සහ වගවීම සම්බන්ධයෙන් ලබාදිය යුතු තාක්ෂණික සහය මෙන්ම, උපදෙස් ලබාදෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමෙන් ඉල්ලා තිබෙනවා.
එමගින් වැඩිදුරටත් ඉල්ලා ඇත්තේ ශ්‍රී ලංකාව ගන්නා ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අඛන්ඩ සමාලෝචනයක් සිදුකර ඒ සම්බන්ධයෙන් ලිඛිත යාවත්කාලීන වාර්තාවක් කවුන්සිලයේ 43 වන සැසිවාරයට හා සම්පූර්ණ වාර්තාවක් 46 වන සැසිවාරයට ඉදිරිපත් කරන ලෙසටයි.
මේ අතර, ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවට සම අනුග්‍රහය දක්වමින් ජිනීවා හි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත ඒ.එල්.ඒ.අසීස් මීට පෙර එකඟතාව පළ කර අත්සන් තබා ඇතැයි ජගත් දේශප්‍රේමී ශ්‍රී ලාංකික සංසදය පවසනවා.
එහි නියෝජිත මහාචාර්ය චන්න ජයසුමන මේ බව කියා සිටියේ අදාළ යෝජනාවට එරෙහිව යුරෝපයේ වාසය කරන ශ්‍රී ලාංකිකයින් සංවිධාන කළ පෙත්සමක් භාරදීම සඳහා අද ජිනීවා නුවර එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කාර්යාලයට ගිය අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පළ කරමින්.
මෙම චෝදනාව සම්බන්ධයෙන් හිරු ප්‍රවෘත්ති අංශය සිදුකළ විමසීමකදී විදේශ කටයුතු අමාත්‍යාංශයේ මාධ්‍ය ප්‍රකාශිකා සරෝජා සිරිසේන කියා සිටියේ අදාළ එකඟතාව පළ කිරීම ශ්‍රී ලංකා රජයේ අනුදැනුම මත සිදුවූවක් බවයි.
මේ අතර මානව හිමිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරිය ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති වාර්තාව පිළි නොගන්නා බව පවසමින් හා ශ්‍රී ලංකාවට බලපෑම් නොකරන ලෙස මානව හිමිකම් කවුන්සිලයට බලකරමින් ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය පසුගියදා ජිනීවා හිදී විරෝධතාවකද නිරත වුණා.
මේ අතර, යුද සමයේදී මෙරට සිදුවූ බව කියන යුද අපරාධ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලය විසින් ජාත්‍යන්තර පරීක්ෂණයක් පැවැත්විය යුතු බව පවසමින් යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් අද විරෝධතාවක නිරතවුණා.