Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව විරෝධතාවක්

බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය උපදේශක බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව දෙමළ සංවිධාන රැසක් අද (09) ලන්ඩනයේ විරෝධතා රැළියක් සංවිධාන කර ඇති බව වාර්තා වනවා.
දෙමළ ඊළාම් සංක්‍රාන්ති රජය හෙවත් ටී.ජී.ටී.ඊ ඇතුළු සංවිධාන රැසක් ඊට එක්වන බවයි වාර්තා වන්නේ.
ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පසුගිය පෙබරවාරි 4 වනදා පැවති නිදහස් සමරු උළෙල අතරතුර එය ඉදිරිපිට දෙමළ සංවිධානවල විරෝධතාවක් පැවැත්වුණා.
සිය ගෙළ පෙන්වා ඔවුන්ට කිසියම් සංඥාවක් කිරීම සම්බන්ධයෙන් බ්‍රිගේඩියර් ප්‍රියංකගේ රාජකාරි අත්හිටුවනු ලැබූයේ ඒ පිළිබඳ විරෝධතා එල්ල වීම හේතුවෙන්.
කෙසේ නමුත්, ජනාධිපතිවරයාගේ නියෝගයෙන් ඔහු යළි සේවයේ පිහිටුවීමට කටයුතු කෙරුණා.
ටී.ජී.ටී.ඊ සංවිධානය සඳහන් කළේ එලෙස බ්‍රිගේඩියර්වරයා වෙත යළි රාජකාරි පැවරීමට තමන් විරෝධය පළ කරන බවයි.
එමෙන්ම, මෙරට පැවති යුද සමයේදී ඔහු යුද අපරාධවල නිරත වූ බවට ද ඔවුන් චෝදනාවක් එල්ල කර තිබෙනවා.
මේ නිසා බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු අත්අඩංගුවට ගන්නා ලෙස බ්‍රිතාන්‍යයේ දෙමළ සංවිධාන එරට පොලීසිය වෙත පැමිණිලි කර ඇති බවයි එමගින් සඳහන් කළේ.
කෙසේ නමුත්, රාජ්‍ය තාන්ත්‍රික නිලධාරින්ට එරෙහිව ඔවුන් ක්‍රියාත්මක වන රටවල නීතිරීති බල නොපවත්වන බව ප්‍රසිද්ධ කරුණක්.
බ්‍රිතාන්‍ය වේලාවෙන් අද පස්වරු 2 ට එනම් ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7 යි 30 ට පැවැත්වෙන ලන්ඩන් දෙමළ විරෝධතාව ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට මෙන්ම බ්‍රිතාන්‍ය විදේශ ලේකම් කාර්යාලය ඉදිරිපිට ද පැවැත්වෙන බවයි ටී.ජී.ටී.ඊ සංවිධානය නිවේදනය කර ඇත්තේ.
මේ අතර, දෙමළ ඩයස් පෝරාව ලන්ඩනයේ සංවිධාන කර ඇති විරෝධතාවට සමගාමීව බ්‍රිතාන්‍යයේ සහ යුරෝපාකරයේ සිටින සිංහල සංවිධාන විසින් ද උද්ඝෝෂණයක් අද පවත්වන බව වාර්තා වනවා.
ඒ කොටි හිතවාදීන් ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ප්‍රකෝපකාරි ලෙස හැසිරීමට විරෝධය දක්වමින්. පෙබරවාරි 4 වනදා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිටදී ඔවුන් ශ්‍රී ලංකා යුද හමුදාවට අපහාස වන ආකාරයෙන් හැසිරුණු බව ගෝලීය ශ්‍රී ලංකා සංසදය සිංහල සංවිධානය ඉතාලියේ සිට නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළා.
ස්වීඩනය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල සිටින සිංහල සංවිධාන ද ලන්ඩනයේ අද පැවැත්වෙන විරෝධතාවයට එක්වන බවයි එහි සභාපති වසන්ත කීර්තිරත්න හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.