Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංක ගැන, වැරදි වැටහීම නිවැරදි කරන්න බ්‍රිතාන්‍ය එකඟ වෙයි

බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය අධිකරණය කටයුතු කළ ආකාරය සහ ඊට අදාළ සම්පූර්ණ ක්‍රියාවලිය යළි සලකා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලා තිබෙනවා.
ඒ, මහ කොමසාරිස්වරයා අමාත්‍යාංශය වෙත කැඳවා ඒ පිළිබඳව කරුණු පැහැදිලි කරමින්.
රාජ්‍ය තාන්ත්‍රික නිලධාරියෙකු වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට ඊට අදාළව ඇති මුක්තිය පිළිබඳව කරුණු පැහැදිලි කර ඇති විදේශ අමාත්‍යවරයා සිද්ධියට අදාළ සම්පූර්ණ ක්‍රියාවලිය යළි සලකා බලා ජාත්‍යන්තර අධිකරණය හමුවේ පවතින වැරදි වැටහීම නිවැරදි කරන ලෙසයි ඉල්ලා ඇත්තේ.
අදාළ තොරතුරු නිවැරදි කරන බවට මෙහිදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළ බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළා.
පසුගිය වසරේ නිදහස් දිනය දා ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාල පරිශ්‍රයේදී එල්.ටී.ටී.ඊ. හිතවාදීන්ට තර්ජනාත්මක සංඥාවක් කළ බවට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු එක්සත් රාජධානියේ වෙස්ට්මිනිස්ටර් මහේස්ත්‍රාත් අධිකරණය මගින් වරදකරු කර ඇති බව ටැමිල් ගාඩියන් ඇතුළු දෙමළ වෙබ් අඩවි පසුගියදා වාර්තා කළා.
දෙමළ ඩයස්පෝරාව වෙනුවෙන් මෙම නඩුව ගොනුකර තිබුණේ පබ්ලික් ඉන්ට්‍රස්ට් ලෝ සෙන්ටර් නැමැති රාජ්‍ය නොවන සංවිධානයක්.
කෙසේ වෙතත්, රාජකාරී කටයුත්තක නිරත වූ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දු කිසිසේත්ම බ්‍රිතාන්‍යයට ඉදිරිපත් කිරීමට අපේක්ෂා නොකරන බව යුද හමුදාවද අවධාරණය කළා.