Gossips

බ්‍රිගේඩියර් ප්‍රියංකගේ වරෙන්තුව, වෙස්ට්මිනිස්ටර් අධිකරණය ඉවත දමයි

පසුගිය වසරේ නිදහස් දිනයේ ලන්ඩනයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ පැවති උත්සවයේදී කොටි හිතවාදීන් පිරිසකට තර්ජනාත්මක සංඥාවක් කළේ යැයි වැරදිකරු කොට බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහිව බ්‍රිතාන්‍ය වෙස්ට්මිනිස්ටර් අධිකරණය මගින් නිකුත් කර තිබූ වරෙන්තුව දැන් නිළ වශයෙන් ඉවත් කරගෙන තිබෙනවා.
ඒ, බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබඳ කාර්යාලය බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුගේ රාජ්‍ය තාන්ත්‍රික වරප්‍රසාද පිළිබදව තහවුරු කිරීමෙන් අනතුරුවයි.
ඒ පිළිබදව බ්‍රිතාන්‍ය අධිකරණය කටයුතු කළ ආකාරය සහ ඊට අදාළ සම්පූර්ණ ක්‍රියාවලිය යළි සලකා බලන ලෙස විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කර තිබුණා.
අදාළ තොරතුරු නිවැරදි කරන බවට මෙහිදී බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා ප්‍රකාශ කළ බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටියා.
ඒ අනුව වෙස්ට්මිනිස්ටර් අධිකරණය වෙත අදාළ තොරතුරු ඊයේ (01) නීත්‍යානුකූලව ලබාදී තිබූ අතර, ඉන් අනතුරුවයි වරෙන්තුව නිළ වශයෙන් ඉවත් කරගෙන ඇත්තේ.
ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික අදහස් හුවමාරුවකට ද හේතු වූ මෙම නඩු විභාගය තමාගේ අනුදැනුමකින් තොරව සිදුකළ බවට වෙස්ට්මිනිස්ටර් අධිකරණයේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය එය විභාග කළ විනිසුරුවරුන්ට දෝෂාරෝපණය කළ බව ද සඳහන්.
කෙසේ නමුත්, සියළු නීතිමය කරුණු පැහැදිලි කිරීම සඳහා ලබන මාර්තු 01 වන දා නඩු විභාගය යළි කැදවීමට ද නියමිත බව බ්‍රිතාන්‍යය පුවත්පත් සඳහන් කළා.
බ්‍රිතාන්‍ය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩලීය කටයුතු පිළිබද කාර්යාලය සදහන් කර ඇත්තේ බ්‍රිගේඩියර් ප්‍රියංක ප්‍රනාන්දුට එරෙහි නීතිමය ක්‍රියාමාර්ග තම අනුදැනුමකින් තොරව සිදුකර ඇති බවයි.
මේ අතර, මාලි රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරියේ නිරතව සිටියදී දිවි පිදූ ශ්‍රී ලංකා යුද හමුදා සාමාජිකයින් දෙදෙනාගේ දේහ දිවයිනට රැගෙන ඒම ප්‍රමාද වන බව යුද හමුදාව පවසනවා.
එම දේහ අද (02) පස්වරුවේ දිවයිනට රැගෙන ඒමට නියමිත තිබූ අතර, ගුවන් සැලසුම්වල ප්‍රමාදයක් හේතුවෙන් එම කටයුතු ලබන සඳුදා දක්වා කල් දැමුණු බවයි හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.